රඹුක්කන විරෝධතාවයට පොලිසිය වෙඩි තබයි : එක් පුද්ගලයෙකු ජිවිත්ක්ෂයට

April 19, 2022 at 7:02 PM

රඹුක්කන දුම්රිය හරස් මාර්ගයේදී අවහිර කරමින් අද උදැසන සිට විරෝධතාවයේ යෙදුනු පිරිස් එම ස්ථානයේ නතර කර තිබු ඩිසල් රැගත් බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් ගිනි තැබීමට උත්සාහ කළ බව පොලිසිය පවසනවා.

එය වැළැක්වීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බවත් පසුව ඔවුන් පොලිසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පොලිසියට වෙඩි තැබීමට සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටියේ.

මෙම සිදුවීමේදී තුවාල ලැබූ පුද්ගලයින් කිහිප දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති බවත් ගල් මුල් ප්‍රහාර වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරින්ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

මේ අතර මෙම සිදුවීමෙන් තුවාල ලැබු පුද්ගලයින් 10 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී සඳහන් කර සිටියේ.

තුවාල ලබා සිටින අනෙකු පුද්ගලයින් 09 දෙනා ගෙන් දෙදෙනෙකු ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කර සිටියා.