අලුත් අවුරුදු නැකත් සීට්ටුව : අවුරුදු උදාව පෙරවරු 8.41ට

April 14, 2022 at 8:07 AM

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තවත් හෝරා කිහිපයකින් උදා වනවා. අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය උදා වුණේ අද අලුයම 02 යි 17 ට යි. පස්වරු 03 යි 05 ට පුණ්‍ය කාලය නිමාවට පත්වනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විහාරස්ථානවලට අද අලුයම් කාලයේම ජනතාව පැමිණ ආගමික වතාවත්වල නිරතවූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මෙවර අලුත් අවුරුදු උදාව සිදුවන්නේ පූර්ව භාග 08 යි 41 ට යෙදෙන සුබ මොහොතින්. ආහාර පිසීමේ නැකත උදාවන්නේ පූර්ව භාග 09 යි 05 ටයි. “රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද, උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත උදාවන්නේ පූර්ව භාග 10 යි 17 ටයි. “රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගණුදෙනු කර, ආහාර අනුභවය මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

මෙවර නැකත් සීට්ටුවට අනුව හිස තෙල් ගෑමේ නැකත උදාවන්නේ අප්‍රේල් 17 වන ඉරිදා පූර්ව භාග 07 යි 04 ටයි. “රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානුද, තෙල්ද ගා ස්නානය කිරීම මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

රැකීරක්ෂා සඳහා පිටත්වීමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 18 වන සඳුදා පූර්ව භාග 06 යි 51 ටයි. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වීම මැනවි යනුවෙනුයි නැකැත් සීට්ටුවේ සඳහන්ව ඇත්තේ.

මෙවර නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතක්ද ඇතුලත්. ඒ අනුව අප්‍රේල් 18 වන සඳුදා පෙරවරු 11 යි 16 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැළ සිටුවීම සුදුසු බව නැකැත් සීට්ටුවේ දැක්වෙනවා.