ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොකොමසාරිස් නිකුත් කළ අලුත්ම වාර්තාව. පාස්කු ප්‍රහාරයේ කොමිශන් වාර්තාව ගැනත් අවධානය , මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා රැසක්

February 26, 2022 at 6:51 AM

 

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 49 වැනි සැසිවාරය ට ඉදිරිපත් කෙරෙන මානව හිමිකම් කොමසාරිස් වරියගේ වාර්තාව නිකුත් කර තිබේ.

එය ලබන මාර්තු මුල් සතියේ කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන අතර විවාදයක් ද පැවැත්වෙනු ඇති.

අදාල පිටු 17කින් යුත් වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.

මානව හිමිකම් මහකොමසාරිස් මිශෙල් බැශලේ මහත්මිය එමගින් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කර ඇත.

මෙවර වාර්තාව සකස් කිරීමට පෙර නියෝජිත පිරිසකට මෙරටට පැමිණෙන  ලෙස ලක් රජය ඇරයුම් කරතිබූ නමුත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තම නියෝජිත පිරිස ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ අදාල කරුණු රැස්කර ගත් බවද එහි ස්ඳහන් ය. එම පියවර සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස් වරිය ලක් රජය ඇගයීමට ලක්කර තිබේ.

කෙසේ වෙතත් ලංකාවේ සිවිල් සමාජ ජන ජීවිතයට බලපාන පරිදි හමුදාකරණය ඉහල ගොස් ඇති බව අදාල වාර්තාවේ දැක්වේ.

.ඇතැම් මානව හිමිකම් චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන් රජයේ පරිපාලනමය තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස් වරිය අවධානය ට ලක් කර ඇත.

උතුරේ ඉඩම්ගැටලුව සම්බන්ධයෙන් ද එම වාර්තාවේ අවධාරණය කර ඇත.

එ මෙන්ම ජාතික සංහිඳියාව ට බලපෑම් වන පරිදි රජය ඇතැම් පත්කිරීම් සිදුකර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

එක රටක් එක නීතියක් ජනාධිපති කාරිය සාධක බලකායේ මුල් පුටුවට බොදුබල සේනා සංවිධානයේ හිමිනමක් පත් කිරීම,

යුධ විරුවන් සිහිකිරීම සඳහා අනුරාධපුරයේ සෑයක් ඉදිකිරීම , කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට හිමිනමක් පත් කිරීම ද ඒ යටතේ ඇය සිය වාර්තාවේ ඇතුලත් කර තිබේ.

සිවිල් ක්‍රියාකාරිකයින් පසුපස හඹායාම් ද ඉහල ගොස් ඇතැයි උදාහරණ සිදුවීම් කිහිපයක් සමග මෙම මානව හිමිකම් පිලිබද වාර්තාවට ඇතුළත් කර තිබේ.

පසුගිය සමයේ පොලිස් අත් අඩංගුවේ දී සැකකරුවන් ඝාතනය වීම පිකිබධව මානව හිමිකම් මහකොමසාරිස් වරිය දැඩි අවධානය යොමුකර ඇත.

ඒ සම්බන්ධයෙන් මෙරට නීති අංශ ද රජයට කරුණු දක්වා ඇතිබව ඇය සිහිපත් කරයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මෑතකදී ගෙන ආ සංශෝධන අගය කරන මහකොමසාරිස් වරිය එම කටයුතු කඩිනමින් අවසන් කිටීම අවශ්‍ය බව පවසයි.

හිජාස් හිස්බුල්ලා වැනි ත්‍රස්තවාදය ට එරෙහි පනතේ ප්‍රතිපාදන මත කරන ලද අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් ආකාරය ද මෙම වාර්තාවේ සඳහන් වන අතර මානව හිමිකම් මහකොමසාරිස් වරිය පවසන්නේ PTA සංශෝධන ක්‍රියාත්මක වනතුරු පවතින ප්‍රතිපාදන යටතේ තවදුරටත් කටයුතු කිරීම නවත්වන ලෙසයි.

මේ අතර යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මෑතකදී මතුවූ කරුණු ගැනද එහි අවධානය ට ලක්කර තිබේ.

තරුණයින් 11 දෙනෙකු ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වරයාගේ නඩු කටයුතු සම්බන්ධ ප්‍රගතිය මෙන්ම ,ඔහු රාජ්‍ය තනතුරකට පත්කිරීම කෙරෙහිද වාර්තාවේ අවධානය ට ලක්කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ල අතරතුර රැඳවියන් මියයාමේ සිදුවීමේ චූදිතයන් ට  දුන් අධිකරණ ක්‍රියාමාර්ගයද එහි අන්තර්ගත කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ජනාධිපති කොමිශන් වාර්තාව ප්‍රසිද්ධ කර නොමැත්බවද මෙම වාර්තාවේ අවධානය ට ලක්කර තිබේ . එවන් පසුබිමක බොරැල්ල දේවස්ථානයක තිබී අත්බෝම්බයක් හමුවීමද වාර්තාවට ඇතුලත් කර ඇති සිදුවීමකි.

නීති පති වරයා විසින් ඇතැම් නඩු ඉවත්කර ගැනීමේ තීරණ සම්බන්ධයෙන් ද මානව හිමිකම් මහකොමසාරිස් වරිය දැඩි අවධානය යොමුකර ඇත.

සිය නිර්දේශ මගින් ඇය දක්වන්නේ

සියලු දෙනාට මානව හිමිකම් සුරක්ෂිත වනපරිදි අදාල ආයතන සවිමත් කෙරෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන ඒම.

අත් අඩංගුවට ගැනීම වලදී ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය අනුව සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කිරීම.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධ ජනාධිපති කොමිශන් වාර්තාව ප්‍රසිද්ධ  කිරීම 

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට තවදුරටත් මූලික සංශෝධන එක් කිරීම සිදුකරන ලෙසයි.

 

2021 වසරේ සිය වාර්තාව මගින් පෙන්වාදී ඇතිකරුණු පිලිබදවද ඇය යලි අවධාරණය කරන අතර, බරපතළ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කර ජාත්‍යන්තර අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු  ඒවාට අවශ්‍ය පියවර ගැනීමට සාමාජික රටවලට යලි සිහිපත්කරයි.

බරපතළ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වූ වරදකරුවන් සඳහා සම්බාධක පැනවීමේ හැකියාව  සොයාබලන්නැයි  ඇය එම නිර්දේශය   අනුව සිහිපත්කර තිබුණි .

ඒ අනුව වින්දිතයින් සමග සම්බන්ධ වෙමින් ඊට කටයුතුකරනලෙස යි මහකොමසාරිස් වරිය සිය පූර්ව නිර්දේශ මගින් දක්වා තිබුණේ.

එමෙන්ම ජගත් සාම සාධක හමුදාව සඳහා මෙරට දායකත්වය ද යලි සමාලෝචනය කරන ලෙස ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනවලට යෝජනා කරයි.