නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට යයි

February 26, 2022 at 1:21 PM
බලපත්‍ර රහිතව සංචාරකයින් සඳහා මත්පැන් අලෙවිකරන ආයතන සඳහා නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

සංචාරක ආකර්ශණය සහිත ප්‍රදේශවල පිහිටා ඇති එම සංචාරකයින් සඳහා ආහාර පාන සහ නවාතැන් සපයන ආපන ශාලා, හෝටල්, ආගන්තුක නිවාස සඳහා මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල නිර්දේශද ලැබී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

යෝජිත නව ක්‍රමවේදය යටතේ දැනටමත් සංචාරකයින් සඳහා ආහාරපාන සහ නවාතැන් සැපයිම පිණිස ව්‍යපාර ලියාපදිංචිය ලබා ගෙන ඇති ආපන ශාලා, හෝටල් සහ ආගන්තුක නිවාස වෙනුවෙන් සරල හා නම්‍යශීලී වු අවශ්‍යතා සැපිරිමට යටත්ව සංචාරකයින් සඳහා බීර  හා වයින් විකිණීම සඳහා බලපත්‍ර ලබා දීමට අපේක්ෂා කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවා.

මෙම නව ක්‍රමවේදය මගින් දැනටමත් බලපත්‍ර රහිතව සංචාරකයින් සඳහා මත්පැන් විකිණීම සිදු කරන ආපන ශාලා, හෝටල් සහ ආගන්තුක නිවාස නීතිමය රාමුවට ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම සංචාරකයින් සහ අදාල ආයතනවල හිමිකරුවන් මුහුණ දෙන අනපේක්ෂිත පිඩාවන් අවම කිරීමටත් එම ස්ථාන නිත්‍යානුකූල සැපයුම් දාමයට ඇතුළත් කර ගැනීම මගින් ඒවායේ නිත්‍යානුකූල හා ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් අලෙවි කරන බවට සනාථ කිරීමට හැකියාව ලැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.