සේවක අර්ථ සාධකය සහ විශ්‍රාම වැටුප් පාරිතෝෂයෙන් 25%ක අධි භාරයක්?

February 8, 2022 at 10:12 AM

බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන දෙදහසක් ඉක්මවනු ලබන යම් පුද්ගලයෙකුගේ, හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත සියයට 25ක අධිභාරයක් අය කළ යුතු බවට වන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව ගණනය කරනු ලබන 2020 වර්ෂයේ අප්‍රේල් මස පළමු වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා එම අධිභාර බද්ද පැනවීමට නියමිතයි.

සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කර සිටියේ.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවයි.

එම පනත් කෙටුම්පතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටුප් අරමුදලක්, අර්ථ සාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක් ද සමාගම යන අර්ථ නිරූපනයට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.