ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන් කිහිපදෙනෙක් තබා තිබූ වාර්තාවක් සමකිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් සමත් වී තිබෙනවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති 5 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේදී.
එංගලන්ත ඉනිමේ අවසන් පන්දු ඕවරය යැවූ හෝල්ඩර්, එහිදී 2, 3, 4, සහ 5 වැනි පන්දුවලදී පිට පිට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී එවැනි දස්කමක් දැක්වූ සිව්වැනි පන්දු යවන්නා ඔහුය. මීට පෙර, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්, සහ අයර්ලන්තයේ කර්ටිස් කැම්ෆර් එම දස්කම මීට පෙර දක්වා තිබුණා.
එංගලන්තය සහ කොදෙව්වන් අතර 5 වැනි විස්සයි 20 ජාත්‍යන්තර තරගය ජැමෙයිකාවේ බ්‍රිජ්ටවුන් හිදී පැවැත්වුණා.
කාසියේ වාසිය දිනා, පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස්කරනු ලැබුවා. හිදී නායක කයිරන් පොලාර්ඩ් පන්දු 25කදී නොදැවී ලකුණු 41ක් රැස්කළ අතර රෝව්මන් පවල් පන්දු 17කදී නොදැවී ලකුණු 35ක් රැස්කළේ 6 පහර 4ක්ද සමගිනි.
ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 19.5කදී ලකුණු 162කට සියලුදෙනා දැවී ගියා. ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩුලු 5යි.
ඒ අනුව තරගාවලිය 3-2ක් ලෙස ජයගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
ජේසන් හෝල්ඩර් තැබූ වාර්තාව සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කරමින් ලසිත් මාලිංග ට්විටර් සටහනක් ද තබා තිබෙනවා.