කටාරයේ වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා ගැන අනාවරණයක්

January 31, 2022 at 11:41 AM

කටාර් රාජ්‍යෙය් දොහා හි සිදුවු වෙඩි තැබිමෙන් මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු නොවන බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කර සිටියි.

මෙරට මාධ්‍ය කිහිපයක පළවු මෙම ප්‍රවෘත්තිය කෙරෙහි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ගේ විශේෂ අවධානය යොමු විය. ඒ අනුව ඔහු වහාම මේ පිළිබඳව සොයා බැලිමට කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට දන්වා ඇත.

ඒ අනුව කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී නිතීඥ කීර්ති මුතුකුමාරණ විසින් අදාල ප්‍රදේශයේ පොලිසිය වෙත ගොස් කරණු සොයා බලා ඇත.

එම පොලිසිය මගින් තහවුරු කර ඇත්තේ මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු නොවන බවයි. පසුව අදාල ප්‍රදේශයේ රෝහලද පරික්ෂා කර ඇතත් වෙඩි තැබිමකින් මියගිය ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ දේහයක් නොමැති බවට තහවුරු වි ඇත.