තුසාන් ගුණවර්ධනට රටින් පිටව යෑම තහනම් කරයි

January 24, 2022 at 11:07 AM

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට විදෙස්ගත වීම වළක්වා ඇති බව වාර්තා වනවා.

ලංකා සතොසට සම්බන්ධ මහ පරිමාණ සුදුළුණු වංචාව සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හි ප්‍රමිතිය ප්‍රශ්නයෙන් වන හෙළිදරව් කිරීම් ඔහු විසින් සිදුකරනු ලැබුවා.

මහා පරිමාණ සුදු ළුණු වංචාවට සම්බන්ධ ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට
ද එම හෙළිදරව් කිරීම සමත් වුවා.

දිවයින පුරා වාර්තා වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවීමට පෙරම ඔහු විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් එල්ල විය හැකි තර්ජනය පිළිබඳව ද තුෂාන් ගුණවර්ධන අවධාරණය කර තිබුණා.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා අමෙරිකාව බලා යාමට උත්සාහ කළ අවසථාවේදී මෙම හෙළිදරව් කිරිම් සිදුකළ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයාට රටින් පිටව යෑම තහනම් කර ඇති බවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

වැලිසර අධිකරණයේ පවරා ඇති නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති බැවින් තමාට විදේශගත විය නොහැකි බවට ගුවන් තොටුපොළ නිලධාරීන් හෙළි කළ බවයි තුෂාන් ගුණවර්ධන සඳහන් කළේ.

තමන් නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති බවට නිසි බලධාරීන් විසින් තමන්ට දැනුම් දී සිදුකර නොමැති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.