දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබෙනවා : බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පවසයි

January 22, 2022 at 12:42 PM

ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන බවත් දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) පස්වරුවේ 12වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කර සිටියා.

කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපතිතුමා කළ මෙහෙය අගයමින් බෞද්ධ උපදේශක සභාවේ දී මහා සංඝරත්නය අදහස් පළ කර සිටියා.

ප්‍රපාතයට යමින් තිබූ  රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නැති අතර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කර දීමට පසුගිය දෙවසර තුළ ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

එමෙන්ම රටේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර, විසඳුම් සෙවීමට ජනාධිපතිතුමාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බව මහා සංඝරත්නය  සඳහන් කර සිටියා.

අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය. විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය කොවිඩ් බාධක හමුවේ වුව ද රැකගනිමින් බහුතර ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන් එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බව රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියා.