සංචාරකයින්ගේ පැමිණීම වේගවත් වෙයි : හෝටල් වලටත් විශේෂ දැනුම් දීමක්

January 18, 2022 at 12:50 PM

සංචාරක පහසුකම් සපයන ආයතන සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දේශීය සංචාරකයින්ට නොසලකමින් “විදේශිකයන්ට පමණයි” ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බවයි එයින් දන්වා ඇත්තේ.

කොවිඩ් ව්‍යවසනයත් සමග වසර දෙකක කාලයකට පසුව මෙරට සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඊයේ රාත්‍රිය වන විට මෙරට තුල විදේශීය සංචාරකයන් 46,942 කු රැදී සිටින බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කළේ.

රුසියානු ජාතිකයින් 9,886ක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 4,967ක්, යුක්‍රේන ජාතිකයින් 4,241ක්, ඉන්දියානු ජාතිකයින් 3,784ක් මෙලෙස රට තුල රැඳී සිටින බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව සාමාන්‍යයෙන් දිනකට විදේශීය සංචාරකයන් 3,000 ක් පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බව පැවසූ සභාපතිවරයා, මෙසේ විදේශීය සංචාරකයන් මෙරටට ගෙන ඒම සදහා විදේශීය ගුවන් සේවා සමාගම් 22 ක් පමණ දැනට දායක වී ඇති බවත් තවත් විදේශීය ගුවන් සේවා සමාගම් රාශියක්ම ශ්‍රී ලංකාව සමග ගුවන් සේවා සබදතා ආරම්භ කිරීමට සූදානමින් සිටින බවද සභාපතිවරයා අනාවරණය කර සිටියා.

සංචාරකයින්ගේ පැමිණිමත් සමග මෙරට සංචාරක හෝටල්වලටද දැඩි ඉල්ලුමක් ඇතිවෙමින් පවතින බව පැවසූ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා, තංගල්ල “අනන්තරා” සංචාරක හෝටලය එක් රාත්‍රීයක් සඳහා කාමරයකට රුපියල් 50,000ක පමණ මුදලක් අය කරන බවද සඳහන් කර සිටියා.