ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි 14ක බදු ගිවිසුම අලුත් කෙරේ

December 31, 2021 at 12:49 PM

ලංකා අයි.ඕ.සී සමාගම විසින් මේ වනවිටත් කළමානාකරණය කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14ක් තවත් වසර 50ක කාලයක් සඳහා එම සමාගමට ම බදු දීමට තීරණය කර තිබෙනවා.

ලංකා අයි.ඕ.සී සමාගමට එම තෙල් ටැංකි එලෙස බදු දෙන අතර වාරයේ ඉතිරි තෙල් ටැංකි 61 අලුතින් ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම යටතේ හවුලේ කළමනාකරණය කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ.

මෙම නව සමාගමේ කොටස් 51%ක් ලංකා ඛනික තෙල් සංස්ථාව සතු වෙන අතර, ඉතිරි කොටස් 49%ක අයිතිය පැවරෙන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට යි.

මීට පෙර ලංකා අයි.ඕ.සී සමාගමට තිස් අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා දී තුබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි පර්‍යන්තය 2023 වසරෙ දී එම ගිවිසුම නිමා වීමට නියමිත ව තිබුණා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් විසින් ත්‍රිකුණාමලයේ අක්කර 123ක භූමි ප්‍රදේශයක් පුරා ගොඩනංවා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයට මහා පරිමානයේ තෙල් ටැංකි 91ක් ඇතුළත්.

ඒ අතු‍රෙන් තවමත් තෙල් ටැංකි 75කට ආසන්න ප්‍රමාණයක් යහපත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා.