සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට. අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙනකොට බොරු වෙලා තියෙනවා. විපක්ෂයට බොරුවක්වත් කියාගන්න බැරි විදීයට අසරණ වෙලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊළඟ අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.
“අපි මේ රට හදනවා, මේ රට දියුණු කරනවා, මේ රටේ ආරක්ෂාව අති විශිෂ්ට ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තහවුරු කරලා තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ රජය මේ රටේ ජීවත් වන සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ බර්ගර් වැනි හැම ජන කොටසකගේ ම ආරක්ෂාව තහවුරු කර දීලා තියෙනවා. අපි කිසි ම විටකින් මේ රට අනාරක්ෂිත රටක් බවට පරිවර්තනය කරන්න ඉඩ තියන්නේ නැහැ. සියලු ම ජාතීන් එකට ජීවත් වෙන්න පුළුවන් විදිහට මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊළඟ අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා.
මේ රටේ මුළු මාර්ග පද්ධතිය ම නවීන මාර්ග පද්ධතියක් බවට පත්කරනවා. සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිවරයා පොරොන්දු වුණා කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියලා. අපි කොවිඩ් වසංගත කාලයේදීත් ඒ දේවල් ආරම්භ කෙරුවා. ජනාධිපතිවරයා දුන් පොරොන්දු තමයි මේ ඉටු කරන්නේ. නැගෙනහිර පළාතේ පමණක් අපි පාරවල් අටසීයක් පමණ හදනවා.
මේ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය සමඟ ගම්වල ඉන්න ජනතාවගේ ඉල්ලීම අනුව අපි මේ පාරවල් හදන්න කටයුතු කරනවා. අපේ බලාපොරොත්තුව නවීන මාර්ග පද්ධතියක් මේ රටේ ඇති කරන්න. ගොවියන්ට තමන්ගේ නිෂ්පාදන ඉක්මනින් නගරයට ගෙනියන්න, පාසල් යන දරුවාට ඉක්මනින් පාසල වෙත ළඟා වෙන්න. ඉස්සර මේ පාරවල්වල දූවිලි මඩ නිසා ජනතාවට ගමන් කිරීම අපහසුයි. රට වටේ ම ඉක්මනට යන්න පුළුවන් විදිහේ නවීන මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම තමයි අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුව.
මුස්ලිම් රටවල් සමග අපේ සම්බන්ධතා ඒ ආකාරයෙන් ම තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මුස්ලිම් විදේශ සම්බන්ධතාව පටන්ගත්තෙ පලස්තීනයෙන්. මුස්ලිම් රටවල් කියන්නේ අපේ හිතවත් අය. ඔවුන් අපේ මිත්‍රයන්. ඒ සම්බන්ධතාවන් තමයි මේ විපක්ෂය කඩන්න හදන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බොහොම මිත්‍රශීලී සම්බන්ධකමක් තමයි ඒ රටවල් එක්ක තිබෙන්නේ. විපක්ෂය ඡන්ද ගන්න ජාතීන්, ආගම් බෙදනවා. ඒක තමයි ප්‍රේමදාස මහත්තයගෙ කෙරුවාව. මඩකළපු දිස්ත්‍රික්කය යුද්ධයෙන් පීඩාවට පත්වුණු ප්‍රදේශයක්. ඒ පළාතේ මාර්ග සංවර්ධනය කරන්න ප්‍රමුඛත්වය ලබා දෙනවා. යුද්ධයට අසුවුණු ප්‍රදේශවල ජනතාවට වැඩිපුර ම සංවර්ධන වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහතා වුණාට ඒ ජනතාව වැඩි ප්‍රමාණයක් ඡන්දය ලබා දුන්නේ යහපාලන ආණ්ඩුවට. අපිට ඡන්දය නොදුන්නත්, අපිට අඩු ප්‍රතිශතයක් ලැබුණත්, මේ මුළු ජනතාවට ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආදරෙයි. ඒ නිසා ඔහු මුළු රටටම වැඩ කරනවා. හැම පාරක් ම හැම පාලමක් මඩකළපුව දිස්ත්‍රික්කයට අපි හදනවා.
ඒක ඉතාමත් වගකීමෙන් මම කියනවා. ඡන්ද බලාගෙන නෙමෙයි රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු වෙන්න වගේ ම රට දියුණු වෙන්න අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා.”
පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි (A 005) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රු. මිලියන 7,200ක් වැයකර සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මී. 86.7ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.