ගෑස් සිලින්ඩරයක් පුපුරා කුකුල් පැටවුන් තුන්දහසක් මරුට

December 24, 2021 at 12:00 PM

පල්ලේගම, එළිබිච්චිය ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපොළක ගැස් කාන්දුවක් සමග ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. අද (24) අලුයම 3.20ට පමණ ගෑස් සිලින්ඩරය පුපුරා යෑමෙන් ඇති වු ගින්න හේතුවෙන් කුකුළු පැටවු 3,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ට අයත් අක්කර 17ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති එම කුකුළු ගොවිපොළ තුළ කුකුළු පැටවුන් 35,000ක් පමණ රැඳවිය හැකි ශාලා 7ක් ඇති අතර එන් එක් ශාලාවක් තුළ ගින්න හට ගෙන තිබේ.

කුකුළු පැටවුන්ට අවශ්‍ය උණුසුම ඇති කිරීමට කිලෝ ග්‍රෑම් 37.5ක් වු ගෑස් සිලින්ඩර තුනක් සවිකර ඇති අතර ඉන් එක් සිලින්ඩරයක ඇති වූ කාන්දුව ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

කෙසේවෙතත් මීගමුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පොලීසිය එක්ව ගින්න පාලනය කර ඇති අතර, සිදුවු අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.