කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බවත් ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ ප්‍රකාශයේ වෙනසක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ ප්‍රකාශ කර සිටිනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරය අතහැර නාදුණන වෙනත් අයෙකුට භාරදුන් බවත් එම සිද්ධියට හේතුව තමන්ට ද මේ දක්වා පැහැදිලි නොමැති බවත් මාහාචාර්ය උදිත කේ. ජයසිංහ කියා සිටියේ.
වංචාවක්, දූෂණයක් හෝ අල්ලසක් වැනි හේතුවක් හෝ එකී මෙකී නොකී වෙනත් හේතුවක් තිබේ නම් කවුරුන් හෝ දැනගත යුතු නිසා එවැනි හේතුවක් නොමැති බවට විශ්වාස කරන බව ද මහාචාර්යවරයා සඳහන් කර සිටියා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට වෙනත් කෙනෙකු පත්කළේ යැයි පමණක් තමන් දන්නා බවත් ලේකම් ධුරයෙන් ඉවත් කළ බව ලිඛිතව දැනුම් දී නොතිබුණ ද නව ලේකම්වරයා පත් කළ ලිපිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් තමන්ට යොමුකළ තිබූ බවද සඳහන් කර සිටියා.
ලේකම් ධූරයෙන් ඉවත් කර ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂකවරියක් දුරකථනයෙන් දැනුම් දුන් බව කී මහාචාර්යවරයා, ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් නොවන බවත් වර්තමානයේ වගාබිම් දෙස බැලීමේදී අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇතිවන බව කිව හැකි බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් නොමැති සහ එවැනි දෙයක් සිදු වුව ද එය සැඟවිය යුතු බවට අදහසක් තිබෙන පුද්ගලයෙකුට එම ප්‍රකාශය ආන්දෝලනාත්මක විය හැකි බවද කියා සිටියා.
“කමක් නෑ. ජනතාව දැනුවත් වුණානම් මදැ. මගේ රස්සාව නැතිවුණා කිව්වහම නැති වුණේ මගේ සෙකට්රිකම. මම ඒකට දුක්වෙනවා. දුක් වෙනවා කියන්නේ ඒක නැතිවෙලා විලාප තියෙන එක නෙමෙයි. යමක් හරියට කරගෙන ගිහිල්ලා ඒක එතැනින් ඉවත් වෙනවා නම් ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා නම් මං කියන්නේ පෘතඥනයෙක් වෙන්න බෑ. රහත්වෙලා තියෙන්න ඕනේ. මොකද අපේ කාලය, ශ්‍රමය, අපේ දැනුම පහුගිය මාස ගානම මුළු කොවිඩ් කාලෙම අපි වියදම් කළේ, සතපහක් අරගෙනවත් හම්බකරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි. මට අඩුම ගානේ සෙකට්රි විදියට හම්බවෙන රුපියල් 50,000වත් හම්බවුණේ නෑ. අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ. කමක් නෑ. ඒ නිසා දුකක් තියෙනවා. හැබැයි මට ගෙදර යන්න වෙද්දි කාටහරි ප්‍රයෝජනයක් වුණානම් ඒ ඇති.” මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියා.