උපාධිධාරීන් 51000ක් ජනවාරි සහ අප්‍රේල් වල ස්ථිර රාජ්‍ය සේවයට; ගුරු සේවයටත් පිරිසක් බඳවා ගැනේ

December 18, 2021 at 10:23 PM

 

රැකියා විරහිත උපාධිධාරීන් 51000 කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම 2022 ජනවාරි 03 වනදායින් ආරම්භ වන බවත්, ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් උපාධිධාරී පුහුණුවීම්  සම්බන්ධයෙන් පත් කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි .

ඒ අනුව දැනට පුහුණුව ලබන  රැකියා විරහිත උපාධිධාරීන් 51000 ම , රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස 2022 ජනවාරි 03වනදා නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරේ .

ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42500ක පමණ පිරිසගේ සේවය එදින ම ස්ථීර කරේ.

2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 1 වැනිදා ස්ථීර කිරීමට නියමිතය.

රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන  අනුව ලබා දුන් සම්පූර්ණ පත්වීම් ප්‍රමාණය 58116 කි.

එහෙත් මේ වන විට අභ්‍යාසලාභීන් ලෙස සිටින සංඛ්‍යාව 51000 කි.

මේ අතරින් ගුරු සේවය සඳහා පත්වීම් 22000 ක් ලබා දීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

ගුරු සේවයට එක් වීමට කැමති අයට (දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවද, නොලැබුවද) ඉල්ලුම් කර, ගුරු සේවයට එක්වීමේ අවස්ථාව ලබා දීමට, ගුරු සේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බවද අමාත්‍ය වරයා පවසයි.