ආනයන සඳහා තවදුරටත් සීමා : මුදල් ඇමැති

December 14, 2021 at 11:17 AM

රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව “ලංකාදීප” පුවත්පත වාර්තා කර සිටිනවා.

එසේ වුවද, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවද මුදල් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමතිවරයා එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත .

තමා ඉන්දියාවට ගොස් එරට රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයි පැවසූ මුදල් ඇමතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු පවසා ඇත්තේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, කැබිනට් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර ,රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .

ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් කොන්දේසි වලට එකඟ වීමට සිදුවනු ඇති බවය.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් වැදගත් තවද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුවක් ගෙන නැති බව ද දැනගන්නට ඇත .