ප්‍රියන්ත ගේ ඝාතනයට සම්බන්ධ 13 දෙනෙකු රිමාන්ඩ්

December 5, 2021 at 9:04 PM

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 124 දෙනා අතරින් 13 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහය හා ත්‍රස්ත විරෝධී පනත යටතේ එම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත් අතර සැකකරුවන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ට අඩු අය බව සඳහන්.

මේ අතර සිවිල් සමාජයට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩත්වය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, පකිස්තානයට ලබාදී ඇති GSP+ තත්ත්වය නැවත සමාලෝචනය කරන ලෙස යුරෝපීය පාර්ලිමේන්තුව මේ වනවිට යෝජනාවක් ද සකස් කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

පාකිස්තානයේ සියල්කොට්හී ක්‍රීඩා ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතාට පහරදී ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමට කටයුතු කර තිබුණේ පසුගිය සිකුරාදා දිනයේදීය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මේ වනවිට රහසිගත ස්ථානය රඳවා විමර්ශන සිදුකෙරෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරීක්ෂණ සඳහා CCTV කැමරා 160ක පැය 12කට වැඩි දර්ශන සහ එම ස්ථානයේ සිටි පුද්ගලයින්ගේ ජංගම දත්ත විශ්ලේෂණයන්ද පරීක්ෂාවට ලක් කර ඇතැයි ද සඳහන්.

එමෙන්ම සිදුවීමට සම්බන්ධ වූ ඇඟලුම් කම්හලේ සේවකයින් 900 දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා සූදානම් කර ඇති අතර දැනට සැඟව සිටින සැකකරුවන් පිරිසක්ද ඒ අතරට අයත්.

ප්‍රියන්තගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සියල්කොට්හි අල්ලාමා ඉක්බාල් ශික්ෂණ රෝහලේදී සිදුකර ඇති අතර ඔහුගේ සිරුරේ වැඩි කොටසක් පිළිස්සී ඇති බවත් එල්ලවූ වධහිංසා හේතුවෙන් අස්ථි කිහිපයක් කැඩී ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

දේහය දැඩි ආරක්ෂාව මධ්‍යයේ සියල්කොට්හි සිට ලාහෝර් වෙත රැගෙන ගොස් තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මෙරට විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රියන්ත කුමාර ගේ දේහයේ අවශේෂ රාජ්‍ය වියදමින් හෙට දිනයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් දිවයිනට රැගෙන එන බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇති බවද එම නිවේදනයේ සඳහන්.

විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවා යෝජකයා සමග මේ වනවිට සාකච්ඡාවල නිරතව සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.