ගෑස් සම්බන්ධයෙන් සොයන්න ජනපති නියමයෙන් විශේෂ කමිටුවක්

November 30, 2021 at 1:39 PM

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ ගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක සුජීව මහගම පත්කර ඇත.

අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කමිටුවට උපදෙස් දී ඇත.