සුවසැරියේ දශලක්ෂයක වාර්තාව.

November 27, 2021 at 9:54 PM

මෙරට ක්‍රියාත්මක 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් සේවා ලබා ගත් සංඛ්‍යාව ලක්ෂ 10ක් ඉක්ම වා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හර්ශ ද සිල්වා මහතා සටහනක් තබා තිබේ.

” ජීවිත ලක්ෂ 10 ක්. මින් රැසක් දිවි බේරාගන්නට ඇති.

1990 සුවසැරිය ගිලන්රථ සේවාව මගින් රෝහල් කරා රැගෙන ගිය රෝගීන් ප්‍රමාණය ලක්ෂ 10 සීමාව පසුගියදා පසුකළා. ජීවිත ලක්ෂ 10 ක්. සුළු පටු ප්‍රමාණයක් නෙවෙයි. ඔබ හෝ ඔබේ කවුරු හරි මෙම සේවාව මේ වනවිටත් ලබාගෙන ඇති. සමහරු කියාවි, ඇයි මේ සුවසැරිය ගැනම කියවන්නේ කියල?

මෙම සේවාව හදන්න කරපු කැපවීම මතක් වෙනකොට ජීවිත ලක්ෂ 10 ක් 2016 ජූලි මාසයේ ඉඳල මේ දක්වා රෝහල් කරා රැගෙන ගියා කියන්නේ ලොකු දෙයක් විදිහටයි මම සලකන්නේ. මෙම සේවාව, ආරම්භ කරන්න සහයෝගය ලබාදුන් ඉන්දීය රජය, ජනතාව සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාටත්, මේ සඳහා මට සහයෝගය ලබාදුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත්, මෙම සේවාව මේ තත්ත්වයට ඔසවා තැබීමට ස්⁣වේච්ඡාවෙන්ම කැපවන සුවසැරිය සභාපති, දුමින්ද්‍ර රත්නායක මහතාටත්, ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත්, මෙම සේවාව ජනතාව අතරට රැගෙන යාමට කැපවන 1500 කට ආසන්න සුවසැරිය සහෝදර සමාජික සමාජිකාවන්ටත් මා ස්තූතිවන්ත වෙනවා.

මීට අමතරව, හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියටත් ඔවුන් මෙම සේවාවට දක්වන ලද දායකත්වය වෙනුවෙන් මා ප්‍රණාමය පුද කරනවා. එසේම, මෙම සේවාවට ආදරය සහ ගෞරවය දක්වන ජනතාවටත් මා ගෞරවය පුද කරනවා. ජීවිත ලක්ෂ 10 ක්. මින් ජීවිත රැසක් දිවි බේරාගන්නට ඇති.”