සැකකටයුතු ගෑස් සිලින්ඩර් පිපිරීමකින් තුවාල ලැබූ කතක් මියයයි

November 26, 2021 at 4:07 PM

පොලොන්නරුව, වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක සිදුවූ පිපිරීමකින් බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි වියේ පසුවූ විවාහක කාන්තාවක් ඊයේ සවස මියගොස් ඇති බව “ලංකාදීප” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බවයි වැලිකන්ද පොලිසිය උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

ඉකුත් 13 වෙනිදා ඇය නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය වන විටනිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගෑස් ලිපෙන් මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා බරපතල තුවාල ලබා සිටි ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධ නිවසියන් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර අද අවසන් කටයුතු කිරීමට පවුලේ ඥාතීන්ට දේහය භාරදුන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදු වූ බවයි මියගිය කතගේ පියා වන දිඹුලාගල පැළලටියාව අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී.ජී. ජයසූරිය සඳහන් කළේ.

මිය ගිය කතගේ අවසන් කටයුතු අද පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.