යන අය ඔක්කොම එළියට ගියත් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන් – ඇමති ප්‍රසන්න කියයි

November 26, 2021 at 12:32 PM

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ජල පහසුකම් ලබාදීම වැඩි දියුණු කිරීම සඳහා යක්කල වීදියවත්ත ප්‍රදේශයේ ජල කුළුණක් ඉදි කිරීම සඳහා මුල්ගල තැබීම අද (26 )පෙරවරුවේ සිදු කෙරුණ අතර එම උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග,

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරහ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ආරම්භය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගෞරවය දෙනවා. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පක්ෂය විනාශ කලා. ඒගොල්ලො අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. හැමදාම එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන මම කතා කරනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු එළියෙ කතා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ. ඒ කියන දේවල් වලට උත්තර දෙනකොට සමහර අයට රිදෙනවා. එහෙම රිදෙන කොට ඒගොල්ලො කියන දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි.

මම හැමදාම මගේ මතය කියපු කෙනෙක්. ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ඉදිරියට යන්න නම් සෘජු තීරණ වලට යන්න ඕනේ. ආණ්ඩුව ඇතුළේ කවුරුහරි ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඇතුලේ ඉඳගෙන සියලු වරප්‍රසාද අරගෙන බොරුවට කෑ ගහන්නේ නැතුව එලියට යන්න පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක සාමූහික වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ.

ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නැහැ. චන්ද්‍රිකා මැතිනිය ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රි කෙනෙක්ගෙන්. යන අය ඔක්කොම එළියට ගියත් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්.