ලිට්‍රෝ ගෑස් සමාගමෙන් සහතිකයක්

November 24, 2021 at 11:06 PM

එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස් ආයතනය සහ රජය අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක් බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂ ජනක පතිරත්න අද (24) ප්‍රකාශ කර සිටියා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් ජනතාව අතර මේ වන විට තිබෙන බව පැවසූ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්ෂකවරයා එම සියලුම ගෑස් සිලින්ඩර ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් කර ඇති බව ද සඳහන් කළේ.

ලංකා ගෑස් සමාගම සහ ෂෙල් ගැස් සමාගම යන සමාගම් ලෙස වර්තමාන ලිට්‍රෝ ගෑස් සමාගම පැවැති කාලයේ සිට වසර 150 කට ආසන්න කාලයක් ජනතා විශ්වාසය තබාගෙන වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන බවත් සඳහන් කළ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂවරයා කිසිඳු බියක් නොමැතිව ගෑස් පරිභෝජනය කරන ලෙස වගකීමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීයා සිටියා.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂ, රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ගෘහස්ථ යන දෙකටම එකම වායු සංයුතිය භාවිතා කරන්න බවත් ගෑස් සිලින්ඩරය සමඟ සම්බන්ධ කරන සෙසු උපාංගවල දෝෂයක් නිසා ගෑස් කාන්දු වීමෙන් ගෑස් වාතයේ බරට වඩා ඝනත්වයෙන් වැඩි නිසා කාන්දුවීමකදී පොළව මට්ටමේ දීර්ඝකාලයක් එකතු වුණහොත් ගිනිගන්නා සු`ඵ ප්‍රභවයක් එකතු වීමෙන් ගිනිගැනීමක් හෝ පිපිරීමක් වියහැකි බවයි.

ගෑස්වල පීඩනය මෙන් හය ගුණයක් දරාගැනීමේ හැකියාව සිලින්ඩරය සතුව තිබීම නිසා සිලින්ඩරයේ පිපිරීමත් ඉතාමත් කළාතුරකින් සිදුවිය හැකි බව කී සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂවරයා සිලින්ඩරයට පීඩනය දරාගැනීමට නොහැකිවුණොත් සිලින්ඩරයේ තිබෙන ආරක්‍ෂිත වෑලයයෙන් වැඩිවෙන හෝ වෙනස් වන පීඩනය ඉවත් කරන අතරම ගෘහස්ථ සිලින්ඩරයේ පීඩනය රෙගියුලේටරයක් සමගින් අඩු කරන බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එස්.එල්.එස්. 712 ප්‍රමිතයට අනුව ප්‍රෙපේන් සහ බියුටේන්වල අනුපාතය ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳව සළකා තීරණය කරන බවත් එම අනුපාතය රටින් රටට වෙනස් වන අතරම වර්තමානයේ ශ්‍රී ලංකාවේ එහි කිසිම වෙනස් කර නොමැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

කොළඹ පැරණි තුරඟ තරග පිටිය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන පෙළේ ආපනශාලාවක පසුගියදා සිදුවූ පිපිරීම සහ ගිනිගැනීමේ සිද්ධියත් සමඟ ගෑස්වල ප්‍රමිතිය ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම කොළඹදී අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එසේ පැවසුවේ.