පාස්කු ප්‍රහාරයේ චෝදනා වලට හිටපු පොලිස්පති නිවැරදිකරු කියයි

November 22, 2021 at 12:37 PM

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනාවලට තමා නිවැරදි කරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

එම නඩුව අද නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා විත්තිකරුට කියවා දෙනු ලැබු අතර එම චෝදනාවලට තමා නිවැරදි කරු බව එහිදී පූජිත් ජයසුන්දර අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනය සිදුකළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින සහරාන් හෂීම් ගේ නායකත්වයෙන් යුත් ජාතික තවුහීද් ජමාත් නමැති අන්තවාදී සංවිධානය විසින් දිවයිනේ ස්ථාන 08 කදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් පදනම් කර ගෙන නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇතැයි කියා සිටියේ.

ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබියදීත් ශ්‍රී ලංකා ජනරජයේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් නොසැලකිලිමත් ලෙස රාජකාරිය පැහැර හැර එය වළක්වා ගැනීමට ක්‍රියානොකිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ඉදිරිපත් කර ඇතැයි ඔහු සඳහන් කළේ.

විත්තිකරුට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා 2019 වසරේ අප්‍රේල් මස 07 වනදා සිට 21 වනදා දක්වා කාල සීමාව තුළ හටගත් සිදුවීම් ක්‍රමානුකූලව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා 855 ක් සහ සාක්ෂිකරුවන් 1215 දිනක දිරිපත් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළ අතර එහි වැඩිදුර විභාගය හෙට (23) දිනට කල්දැමුණි.

2019 වසරේ අප්‍රේල් මස 07 වන දා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව චෝදනා 855ක් එල්ල කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

එම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා එය ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීමට නියම කර ඇත.