අපේ මිනිස්සු හැමදාම විශ්වාස කරනවා ඉන්ද්‍රජාලිකයෙක් ඇවිත් රට හදයි කියලා – ජවිපෙ නායක අනුර කුමාර (VIDEO)

November 20, 2021 at 2:10 PM

අද වන විට මුළු රටේ පෝලිම් යුගයකට මුහුණදී ඇති බවත්, ඉතිහාසයේ දරුණුතම විදෙස් සංචිත හිඟයකට රට මුහුණ දෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සඳහා වසරකට ඩොලර් බිලියන 07ක් ගෙවීමට සිදුවන බවත්, භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් බිලියන 08ක් අවශ්‍ය බැවින් මෙම කරුණු දෙකට පමණක් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 15ක් අවශ්‍ය වන බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ සංචිත ප්‍රේෂණයන් ඩොලර් බිලියන 7.8ක් බවත් මේ විට විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මේ වසරේදී ලැබෙන විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6ත් 6.2ක් පමණක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වුවත් මේ වන විට රටේ ජන ජීවිතය මෙන්ම කෘෂි කර්මාන්තය කඩා වැටීමෙන් තිබෙන බවත් මෙවර ඉදිරිපත් කර ඇති අයවැයෙන් කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ.

“අපේ මිනිස්සු හැමදාම විශ්වාස කරනවා ඉන්ද්‍රජාලිකයෙක් ඇවිත් රට හදයි කියලා. මේ අයවැය ලේඛණය තුල ඉදිරිපත් කර ඇති සංඛ්‍යා දත්ත නිවැරදි නොවන ඒවා බවත් ඒවා අසාර්ථකයි.

මේ අයවැය ලේඛණය මගින් ජනතාවට පෙන්නුම් කරනවා. මේ අයවැය ලේඛණයෙන් රටේ ජනතාවට ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා. ඒ පාඩම අන්කවර දෙයක්වත් නොවෙයි ඒ පාඩම වෙන කිසිම දෙයක් නෙමෙයි, මෙතෙක් දිගු කාලයක් අනුගමනය කළ දේශපාලන, සමාජීය, ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටට පත්කළ හැකි ඉතා විනාශකාරී ප්‍රපාතයට ඇද දමා ඇති බවට. ඒක ඇත්ත. මෙතන ඉන්න කාටවත් නැගිටලා අත් උස්සලා කියන්න පුලුවන්ද අපි මේ අංශයෙන් සාර්ථක කර ගත්තා කියලා.

මේ රටේ දශක ගණනාවක දුෂිතයින් පිරිසක් එක්ව විනාශයට පත්කලා. මේ රටේ දුෂිත දේශපාලනය වෙනුවට අදුෂිත දේශපාලනයක් රටේ ඇති කරන්න ඕන. රටේ ජනතාව එදාවේල සරිකර ගන්නේ කෙසේද කියලා විශාල ගැටලුවකට පත්වෙලා ඉන්නේ.

අපේ මිනිස්සු හැමදාම විශ්වාස කරනවා ඉන්ද්‍රජාලිකයෙක් ඇවිත් රට හදයි කියලා. එක් එක් කෙනා ගැන අපේ මිනිස්සු විශ්වාස කළා. දුප්පතාගේ හිතවතා ආවා… විහාර මහාදේවි ආවා … දුටුගැමුණු ආවා … පොළොන්නරුවේ ගැමියා ආවා.. ආසියාවේ හොඳම මොළේ ආවා .. රට රකින විරුවා ආවා … ඒත් රටේ ප්‍රශ්න ඉවරද ? නෑ. ඉන්ද්‍රජාලයකින් එක්කෙනෙක්ට විතරක් මේ රට ගොඩනගන්න බෑ. ඒක සාමූහික ප්‍රයත්නයක්. ”