ලොව බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණදී සිටින මොහොතක ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම පිළිබඳව සමස්ත ජාතියම සතුටුවිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.
අද (18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දකවමින් අමාත්‍යවරයා ඒ සඳහන් කර සිටියේ.
ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම හේතුවෙන් තාවකාලික ඉන්ධන හිඟයක් ඇති වූ බවයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
“තෙල් පිරිපහදුව විවෘත කරනු, බොරතෙල් ගෙනඑනු කියලා තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ඊයේ උද්ඝෝෂණයක යෙදිලා ඉන්නවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කළේ රටේ පවතින් විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කළ යතු නිසා. උද්ඝෝෂණයක් කළාම ඩොලර් පහලවෙලා අපිට බොරතෙල් ආනයනය කර ගැනීමට හැකියාව ලැබෙනවා කියලා මම කලින් දැනගෙන හිටියානම් මමත් ගිහින් ඔය උද්ඝෝෂණයට එකතුවෙනවා. මොකද මටත් ඕනේ බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් මේ පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න. ලෝකයේ බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක රටේ තෙල් නැති, තෙල් ගන්න ඩොලර් නැති, ගබඩා කරගන්නට ටැංකි නැති, ශ්‍රී ලංකාව මෙතෙක් අඛන්ඩව ඉන්ධන සැපයුයේ. ඇත්තෙන්ම හාස්කමක් බදු මේ ඉන්ධන සැපයුම සහතික කිරීම පිළිබඳව අපේ වෘත්තිය සමිති නෙමෙයි සමස්ත ජාතියම සතුටු වෙන්න ඕනේ. එඒ වාගේම අධික වර්ශාව නිසා විදුලිබල මණ්ඩලය මේ දිනවල අපෙන් දැවි තෙල් මිලදී ගන්නේ නැහැ විදුලිය නිෂ්පාදනය සඳහා. දැනටමත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොර තෙල්වලින් හදපු දැවි තෙල් ටොන් 13,500ක් භාවිතා නොකර ටැංකිවල ගබඩා කරගෙන බලන් ඉන්නවා. ඒ නිසා බොරතෙල් ආනයනය කිරීම නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇතිවෙනවා කියන එක තවත් බොරුවක් පමණයි.”