ඩොලර් නැති රටේ පිරිපහදු කරපු ඉන්ධන ගේන්නේ කොහොමද ? විපක්ෂ ප්‍රශ්න නගයි

November 15, 2021 at 1:23 PM

බොරතෙල් ගෙන්න ඩොලර් නොමැතිව සිටින රටට පිරිපහදු කළ ඉන්ධන ගෙනත් බෙදා දෙන බවට විෂය භාර අමාත්‍යවරයා සහ ඉන්ධන පිරිපහදුවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ කුමන පදනමක් මතදැයි සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියා.

2022 අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව පළමු වරට වසා දැමීමට සිදුව ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” බොරතෙල් නැති නිසා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද වසා දමන්න වෙලා. ඒකට හේතුව රටේ ඩොලර් නොමැතිවීමයි. අද ඇමතිවරයා සහ සංස්ථාවේ සභාපතිවරයා කියනවා බොරතෙල් නැත්නම් පිරිපහදු කරපු ඉන්ධන ගෙනල්ලා රටට බෙදනවා කටයුතු කරනවා කියලා. පිරිපහදු කරපු ඉන්ධන බැරලයක මිල ඩොලර් 15ක් වැඩියෙන් ගෙවන්න වෙනවා. ඩොලර් නැති රටේ පිරිපහදු කරපු ඉන්ධන බැරල් කොහොමද ගේන්නේ කියන එක ප්‍රශ්නයක්. අද රටේ ගෑස් ප්‍රශ්නය නිසා භූමිතෙල් පෝලිමක් ඇති වෙලා. භූමිතෙලුත් නැති වුනාම මොකද කරන්නේ” යැයි ප්‍රශ්න කර සිටියේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරින බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් සඳහන් කරනවා.

බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳව උද්ගත වී ඇති තත්වයට හේතුව බවයි වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ.

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළ යෑමෙන් නිර්මාණය වී ඇති අවිනිශ්චිතතාවය සහ ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුද මෙම තත්ත්වයට බලපා ඇතැයි ද සඳහන් කරනවා

භුමිතෙල් හිඟයක් ඇතිවුවහොත් ආනයන කර ජනතාවට බෙදාහරින බවත් මොහොමඩ් උවයිස් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.