65න් විශ්‍රාම යෑම ක්‍රියාත්මක වෙන්නේ කවදා සිටද ? අමාත්‍යාංශ ලේකම් පිළිතුරු දෙයි

November 13, 2021 at 11:45 PM

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම අවුරුදු 65 දක්වා වැඩි කිරීමට ගත් තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ අද පාර්ලිමේන්වේදී ඉල්ලීමක් කළා. ඒ, අයවැය දෙවන වර කියවීමේ අවස්ථාවේ පළමු දින විවාදයට අද එක් වෙමින්.

මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවේ වයස අවුරුදු 60න් පසුව දිගටම වයස අවුරුදු 65 දක්වා සේවයේ යෙදෙනවාද නැද්ද යන තීරණය ගැනීමේ අයිතිය රාජ්‍ය සේවකයින්ට ලබාදීම සිදුකළ යුතු බවට තමන් යෝජනා කරන බවයි.

මේ අතර රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා දීර්ඝ කිරීමේ තීරණය ක්‍රියාත්මක වන නිෂ්චිත දිනයක් මෙතෙක් තීරණය කර නැතැයි රජය පවසනවා. අයවැයෙන් පසු බොහෝ දෙනා ප්‍රශ්ණ කළේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ වන්නේ කවදා සිටද යන්න පිළිබඳවයි.

ඒ අනුව සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් විමසීමක් කළා. එහි ලේකම් ජේ ජේ රත්නසිරි තහවුරු කළේ කුමන දිනයක සිට එම තීරණය ක්‍රියාත්මක වන්නේදැයි තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා දීර්ඝ කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි වැඩිදුරටත් සඳහන් කළා.