මත්පැන් සහ බීර මත පැනවූ බදු සංශෝධනයන්

November 13, 2021 at 11:03 AM

2022 වසර සඳහා වන අයවැය යෝජනාවන්ට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මද්‍යසාර සඳහා පනවා තිබූ බදු මුදල් ඉහළ දමා තිබෙනවා. මෙම නව බදු සංශෝධනය අද (13) සිට බලාත්මක වනවා.

ඒ අනුව මත්පැන් වර්ග එක් ලීටරයක් සඳහා බදු මුදල් වැඩි වන ආකාරය පහත පරිදි වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙතෙක් දේශීය වශයෙන් විශේෂ අරක්කු සඳහා පනවා තිබූ රුපියල් 3,800ක එක් මද්‍යසාර ලීටරයක් සඳහා වූ බද්ද රුපියල් 380 කින් ඉහළ දමා ඇති අතර නව බද්ද රුපියල් 4,180 ක්.

මොලෑසස්, තල්, පොල් හා පදම් කළ අරක්කු සඳහා තිබූ රු. 4,050ක බද්ද රුපියල් 410කින් ඉහළ දමා ඇති අතර නව බද්ද රුපියල් 4,460 ක් වේ.

මෙරට නිපදවන විස්කි, බ්‍රැන්ඩි, ජිම්, රම් විදේශීය මත්පැන් මත අයකරන 4,150ක තිබූ බද්ද 420 කින් ඉහළ දමා ඇති අතර නව බද්ද රුපියල් 4,570 ක් ලෙස දැක්වේ.

5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතය අඩු බියර් වර්ග මත රුපියල් 3,200ක් වශයෙන් පනවා තිබූ බද්ද 3,300 දක්වා රුපියල් 100කින් ඉහළ දමා ඇත.

එමෙන්ම 5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතයකින් වැඩි බියර් මත රුපියල් 3,200ක්ව පැවති බද්ද රුපියල් 3,450 දක්වා රුපියල් 250 කින් ඉහළ දමා ඇත.

ලීටරයක් මත පනවා තිබූ බදු වැඩි කිරීම අනුව ඒ ඒ මත්පැන්වල අඩංගු වන මධ්‍යසාරවල ප්‍රතිශතය අනුව නිෂ්පාදකයින් විසින් සිල්ලර මිල හා තොග මිල තීරණය කිරීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිමට කටයුතු කළ යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කපිල කුමාරසිංහ පැවසුවේ.