කෑගල්ල, සහ කුරුණෑගල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු අතුරුදහන්ව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කර සිටිනවා.
කෑගල්ල, හත්නාගොඩ ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනකු ඊට යටවි ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කර සිටියි. ඉන් එක් අයකු මේ වන විට කෑගල්ල රෝහලට රැගෙන ආ අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර, කුරුණෑගල දොඩම්ගස්ලන්ද කොරොස්ස ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා. වයස අවුරුදු 65 සහ 70 වයසේ පසුවන්නන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත්තේ.
සති තුනක කාලයක සිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුකොටගෙන දිවයිනේ දිස්ත්‍රික්ක 17කට බලපා ඇති ගංවතුර හා නාය යෑම නිසා මේ පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්ව තවත් 09 දෙනකු තුවාල ලබා ඇත. පවුල් 8,820කට අයත් පුද්ගලයෝ 28000ක් මෙහිදී ආපදාවට ලක්ව සිටියි.
අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 09කට දන්වා ඇති නාය යෑමේ රතු නිවේදනය ඉදිරි කාලය දක්වාත් දීර්ඝ කිරීමට ගොඩනැඟිලි පර්යේෂණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.
අනෙකුත් ප්‍රදේශවලටද දිගටම වැසි තත්ත්වයන් බලපාන්නේ නම් කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසත් නාය යෑම් ලක්ෂණ නිරීක්ෂණය වේ නම් හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ ජේයෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවාස 18කට පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර තවත් නිවාස 960කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කළු, කැලණි, නිල්වලා හා ගිං යන ගංගා ආශ්‍රිත පහත් බිම් රැසක් මේ වනවිට ජලයෙන් යට වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, ගම්පහ, ජාඇළ ප්‍රදේශද කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මිල්ලනිය, හොරණ, ෙදාඩංගොඩ හා කළුතර යන ප්‍රදේශද කෑගල්ල, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොඩම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශවලද සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල, අලව්ව, මීරිගම, පන්නල, මීගමුව, කටාන හා වෙන්නප්පුව යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
පවතින අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි රජයේ පාසල් වසා දැමීමටද පියවර ගෙන තිබේ. ප්‍රදේශ ගණනාවකම විදුලිය විසන්ධි වීමක්ද සිදුවී ඇති බවද වාර්තා වෙයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක දුම්රිය මාර්ග ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමත් මාර්ගවලට ගල් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුවී ඇත. මීට අමතරව ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙනතුරු නාවික හා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටී.