හය කෝටියක් මුදල් රැගෙන පළා ගිය වෑන් රථ රියැදුරා

November 2, 2021 at 11:32 AM

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවවක ATM යන්ත්‍රයක් සඳහා තැන්පත් කිරීමට මහනුවර ප්‍රදේශයේ සිට වෑන් රථයකින් රැගෙන පැමිණි රුපියල් හය කෝටියකට අධික මුදලක් රැගෙන පලා ගිය එම වෑන් රථයේ රියදුරා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මුදල් සමග අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දි තිබෙනවා.

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවේ ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සිදුකරනු ලබන්නේ මහනුවර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් වන අතර සැකකාර වෑන් රථයේ රියදුරා සමග එම පෞද්ගලික ආයතනයේ නිලධාරින් දෙදෙනෙක් සහ ගිනි අවියක් සහිත ආරක්ෂිත නිලධාරියෙකු බැංකු ශාඛාව වෙත වැන් රථයෙන් පැමිණ තිබෙනවා.

ආරක්ෂක නිලධාරියා සහ අදාල නිලධාරින් දෙදෙනා වැන් රථයෙන් බැස බැංකු ශාඛාව වෙත ගිය අවස්ථාවේ වෑන් රථයේ රැදි සිටි රියදුරා විසින් වෑන් රථය රැගෙන පලාගොස් ඇති බවයි එම ආයතනයේ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරයා විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මුදල් රැගෙන පැමිණි වෑන් රථයේ සවි කර තිබු GPS යන්ත්‍රය අනුව සැකකරු ගමන් ගන්නා මාර්ගය පිළිබදව හැටන් පොලිසියේ නිලධාරින් සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දිමෙන් අනතුරුව සැකකරුව නුවරඑලිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පට්පොල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ දින පස්වරු 3.30ට පමණ අත්අඩංගුවට ගෙන කැප්පටිපොළ පොලිසිය වෙත භාර දි තිබෙනවා.

හැටන් පොලිසිය පරික්ෂණ පවත්වන නිසා සැකකරු සහ පොලිස් භාරයට ගත් මුදල් තොගය හැටන් පොලිසියට ඊයේ දින රාත්‍රියේ භාර දි ඇත.