සුදුළූණු වංචාවේ විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් CIDය හමුවට කැඳවන්න එපා : අගමැති උපදෙස් දෙයි

September 28, 2021 at 1:01 PM

ලංකා සතොස ආයතනයේ සම්බන්ධව මෑතකදී අනාවරණය වූ සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

අද පැවති සතිපතා කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුවත්පත් කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ඇති බවයි.

මෙම වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නොකැඳවන්න යැයි අගමැතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

“අපි මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලනවා. මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන බව සරත් වීරසේකර ඇමතිවරයා දැනුම් දුන්නා. ” යැයි මෙහිදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියා.

ආරංචි මාර්ග වලට අනුව සුදුළූණු වංචාව සම්බන්ධයෙන් හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ (CAA) අධ්‍යක්ෂකවරයෙකු විසින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද විවේචන කිහිපයක් පිළිබඳව වෙළඳ අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමෙන් පසු එම විමර්ෂණයට අදාලව අදාළ මාධ්‍යවේදීන් කැඳවා ඇති බව වාර්තා වුවා.

ආනයනික සුදුළූණු අඩු මිලකට තුන්වන පාර්ශවයේ විකුණුම් කරුවන්ට විකිණීමේ නිරතව සිටි බව සොයාගැනීමෙන් පසු රජයට අයත් ලංකා සතොස ආයතනයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණා,

ලංකා සතොස ආයතනයේ ලොග් පොතේ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ගබඩා කිරීම සඳහා යොදා ගත් ව්‍යාජ ඇතුළත් කිරීම් දුටු සේවකයෙකු විසින් ලද තොරතුරක් මත මෙම නිලධාරීන් සොයාගෙන ඇත.