රට විවෘත කිරීමේ තීරණය ඉදිරි දින දෙක තුලදී ප්‍රකාශ කරනවා – යුද හමුදාපති

September 28, 2021 at 8:39 AM

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

රට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසන් තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බවත් එම තීරණය ඉදිරි දින 02-03 තුලදී දැන ගැනීමට හැකිවනු ඇති බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මේ වන විට දිනකට කොවිඩ් ආසාදිතයින් 1000කට අඩු සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාව 50-75ත් අතර ප්‍රමාණයක පවතින බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

“ඔක්තෝබර් 1 වන දා පසුව රට විවෘත කළ යුතු ද? නැතිනම් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද තීරණය ඊළඟ දින දෙක තුනේ දී අනිවාර්යෙන් ම දැනුම්දීමට කටයුතු කරනු ලබනවා. කෙසේවෙතත් ජනාධිපතිතුමා අවසන් කොවිඩ් කමිටු රැස්වීමේදී ලබාදුන් උපදෙස් මත ලබාදීලා තියෙන්නේ රට විවෘත කරන අවස්ථාවක දී අපි මොන ආකාරයෙන් ද රට විවෘත කරලා රට පවත්වාගෙන යා යුත්තේ කියලා. ප්‍රවාහන කේෂ්ත්‍රය හා අනෙකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කරලා ඒ පිළිබඳව මේ වන විටත් විශේෂයෙන් ම අමාත්‍යාංශවලට දැනුම්දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව සකස් කර ගන්න.”

ශ්‍රි ලංකා යුද හමුදාවේ 72වන සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රි දළදා මාළිඟයේ පැවැති ධජ පුජා වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම අදහස් පළ කරනු ලැබුවා.