ශ්‍රී ලංකාවට පනවා තිබු තහනම ජපානය ඉවත් කරයි

September 20, 2021 at 8:25 AM

අද සිට නැවතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක සිට පැමිණෙන පුද්ගලයින්ට සිය රටට ඇතුළුවීමට ජපානය අවසර ලබා දී තිබෙනවා. ඩෙල්ටා වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතු කොටගෙන ජපානය ශ්‍රී ලාංකිකයන්ට ගමන් තහනමක් පනවා තිබුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින සහ නේපාලය යන රටවල්වල සිට පැමිණෙන පුද්ගලයින්ට මෙම ගමන් තහනම පනවා තිබූ බවයි.

එන්නත්කරණය කළ සහ ජපානයේ නිත්‍යානුකූලව පදිංචි විදෙස් පුද්ගලයින්ට ද එහිදී ජපානයට ඇතුළු වීම තහනම් කර තිබුණා.

ඒ අනුව, පසු ගිය ජූනි මාසයේ සිට ක්‍රියාත්මක එම තහනම ඉවත් කරන බවට ජපාන රජය සැප්තැම්බර් 17 වන දා සවස නිවේදනය කළේ.

කෙසේ වෙතත්, එලෙස ජපානයට ඇතුළු වන පුද්ගලයින් ජපන් රජය විසින් නියම කරන ලද දින තුනක නිරෝධායනයට යොමු විය යුතුයි.

එම දින තුන අවසානයේදී සිදු කරන කොවිඩ් පරීක්ෂණයෙන් එම පුද්ගලයින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු විය යුතුය.