නිරෝධායන ඇඳිරි නිතිය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

September 16, 2021 at 7:42 PM

දෛනිකව ආසාදිතයින් 2,300ක් ඉක්මවා වාර්තා වීමද සෞඛ්‍ය අංශ වෙත දරාගත නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

රටේ කොවිඩ් ව්‍යාප්තිය සාමාන්‍ය අගයක් ලෙසට පත්වනවා කියා සැලකිය හැක්කේ විදේශ රටවලින් පැමිණෙන පිරිස් වලින් හැර රට තුලින් ආසාදිතයින් හමුනොවන පසුබිමක් මත බවයි.

මේ හේතුවෙන් දෛනිකව වාර්තාවන ආසාදිතයින් මිට වඩා අඩු සංඛ්‍යාවක් දක්වා අඩු කර ගත යුතු බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පවතින සංචරණ සීමා කඩිනමින් ලිහිල් කළහොත් භයානක විපත් රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා දී සිටිනවා.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් එනම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම අපගේ ඉලක්කය වියයුතු බව ඔවුන් පවසයි.

ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය තවමත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක ප්‍රතිඵල පමණක් බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී සිටිනවා.