පාස්කු ප්‍රහාරයේ චුදිතයින්ට සිතාසි නිකුත් කෙරේ

September 13, 2021 at 11:24 PM

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට ලබන ඔක්‌තෝබර් 4 වන දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිතාසි නිකුත් කරනු ලැබුවා.

විනිසුරු මඩුල්ලේ සභාපති දමිත් තොටවත්ත හා අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබුවා.

සැකකරුවන් දැනට පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති හෙයින් එම සැකකරුවන්ට බන්ධනාගාර අධිකාරිවරයා හරහා සිතාසි යොමු කරන ලෙසත් ලබන 4 වන දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයා වෙත ත්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දෙනු ලැබුවා.

නවුෆර් මවුලවී, සජිඩ් මවුලවී, මොහොමඩ් මිල්හාන්, සදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බෙ හෙවත් ගෆූර් බාබා, මොහොමඩ් සම්සුඩීන්, මොහොමඩ් රිස්වාන් යන සැකකරුවන් ඇතුළු සැකකරුවන් විසිපස් දෙනෙකුට එරෙහිව මෙලෙස මහාධිකරණය හමුවේ චෝදනා 23,270කින් සමන්විත අධිචෝදනා නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙනවා.

කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු දේවස්ථාන හා හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර 8කට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුමන්ත්‍රණය, සූදානම් කිරීම, ආධාර අනුබල දීම, පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ එකතු කිරීම, මිනී මැරුම් සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා මත සැකකරුවන් 25 දෙනාට එරෙහිව මෙලෙස අධි චෝදනා 23,270ක් මහාධිකරණයේ ගොනු කර ඇත.