පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පොදු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදි පෙන්වා දෙයි
මෙරට සියලු මැතිවරණ සඳහා පොදු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත්, ඒ සඳහා කොට්ඨාස ක්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගත යුතු බවත් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් එජාප නියෝජිතයන් පැවසීය.
කොට්ඨාස සංඛ්‍යාව අඩුකිරීම මඟින් පළාත් පාලන ආයතන වලට තෝරා පත්කර ගන්නා මන්ත්‍රිවරුන් සංඛ්‍යාව අඩුකළ යුතු බවද ඔවුහු යෝජනා කළහ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සාක්ෂි දුන් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ
ද්විත්ව පුරවැසියන් හෝ වෙනත් රාජ්‍යයක දිවුරුම් දුන්, සබඳතා ඇති තැනැත්තන් ශ්‍රී ලංකාවේ, මහ මැතිවරණයට ඉදිරිපත් වීම සීමා කිරීම හෝ වැළැක්වීම කළ යුතු බව යි.
මහ මැතිවරණයේදී පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා අරමුදල් ලැබෙන ප්‍රභවයන් අනාවරණය කළ යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ මතය විය.
මැතිවරණයකදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ට වැය කළ හැකි වියදම් සීමා කළ යුතු බවද ඔවුහු කාරක සභාවේදී පෙන්වා දුන්හ.
පක්ෂ මාරු කිරීම සඳහා ඉඩ නොඳිය යුතු අතර, යම් මන්ත්‍රීවරයෙකු එසේ පක්ෂය මාරු කළහොත්, ඔහු හෝ ඇය පක්ෂ ලැයිස්තුවෙන් ඉබේම ඉවත් ව යා යුතු බවද ඔවුහු සඳහන් කළහ.