පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග අද දිනයේදී රජයට පවරා ගැනීමට කටයුතු කළ බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව නිපුන, ලත්පදුර, අරලිය, හිරු, නිව් රත්න යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල ගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරුණා.
නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරිත්වය විසින් සැලසුම් සහගතව විරෝධතා මතු කළ අතර, නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කර ඇති බවයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටියේ.
පොළොන්නරුව ප්‍රදේශයේ සියලු මහා පරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළෙඳපොළ වෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිළ ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතොස වෙළෙඳසැල් වෙත ප්‍රවාහනය එම අවස්ථාවේදීම ආරම්භ කෙරුණා.
මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගික ජනතාව නිකුත් කිරිම රජයේ අරමුණ බවයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කර සිටින්නේ.
රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරිමෙන් අනතුරුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යෑම සහ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරිම පිලිබඳව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් මෙම මෝල් හිමියන් සමග සාකච්ජා කරනු ලැබුවා.
නමුත් එකඟවූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම නිසා සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙනු ලැබුවා.