පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියළිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා සැකසූ මුව ආවරණයක් (Herbal Mask) ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වෙත නව නිර්මාණ ශිල්පියෙකු වන දේශබන්දු සමන් හෙට්ටිආරච්චි විසින් සෞඛ්‍ය අමාතයංශයේදී පිළීගන්වනු ලැබුවා.
නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සදහා අදාල පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය හෙවත් අයි.ටී.අයි. ආයතනය මගින් තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම මගින් මෙහෙයවනු ලබන සහසක් නිමැවුම් තරගාවලියෙන් රන් සම්මානයද දිනා ඇති අතර සහසක් නිමැවුම් ජාත්‍යන්තර තරගාවලියේ හොදම නව නිපැයුම ලෙසද තෝරාගෙන ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ දේශීය නිෂ්පාදනයක් ලෙස මෙම නව නිර්මාණය වැදගත් වන බවත්, තමන් බටහිර වෛද්‍යවරියක් වුවත් දේශීය ඖෂධ සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබදව ධනාත්මකව සිතන අයෙකු බැවින් නිහතමානීව මෙම නිර්මාණය අගය කරන බවයි.
මෙම නිර්මාණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද අමාත්‍යවරිය මෙහිදී යෝජනා කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ සමන් හෙට්ටිආරච්චි සදහන් කර සිටියේ නව නිර්මාණ ශිල්පියකු ලෙස තමන් දේශීය ඖෂධ යොදා මුව ආවරණයක් නිර්මාණය කිරීමේ යෙදී සිටියේ කෝවිඩ් වසංගතය පැමිණීමට පෙර සිට බවත් ශ්වසන රෝගවලට ප්‍රතිකාරයක් ලෙස එය භාවිත කිරීමට ඇති හැකියාව සොයා බැලීමට එය සිදුකළ බවයි.
මෙහි සාර්ථකත්වයට හොඳම සහතිකය හිමිවූයේ කාර්මික තාක්ෂණික ආයතනය මගින් බවත් එම ආයතනය මඟින් කළ පර්යේෂණවල දී මෙම මුව ආවරණය හරහා බැක්ටීරියා සහ වයිරස ගමන් නොකරන බවට සහතික කර ඇති බවත් ඔහු මෙහිදී සදහන් කරන ලදි.
මේවන විට නව නිපැයුම් නිර්මාණ 22ක් සදහා පේටන්ට් බලපත්‍ර හිමිකර ගැනීමට සමන් හෙට්ටිආරච්චි සමත්ව ඇත.