තලෙයිබාන් පිටිපස්සෙන් ඉන්නේ ඇමෙරිකාව – ආචාර්ය රංග කලන්සුරිය (VIDEO)

August 27, 2021 at 9:26 PM

ඇෆ්ගනිස්ථානයේ බල පෙරළිය පසුපස සිටින්නේ අමෙරිකාව බව ආචාර්ය රංග කලන්සුරිය ප්‍රකාශ කර සිටිනවා. ඔහු සඳහන් කලේ තලෙයිබාන් සංවිධානය මෙහෙය වන්නේ අමෙරිකාව බවයි.

යුටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ආචාර්ය රංග කලන්සුරිය ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බලපෙරලිය සම්බන්ධයෙන් මෙසේ අදහස් පලකර සිටියා…

” මියන්මාරයේ බලපෙරලිය සිදුවී මාස 06කට පසුව ඇෆ්ගනිස්ථානය බල පෙරලියක් සිදුවුණා. ඇෆ්ගනිස්ථානයේ බලය ඇල්ලුවේ තලෙයිබාන් ත්‍රස්තවාදී කණ්ඩායම. බොහෝ දෙනා කියුවත් මෙය අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් කියලා එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ දිගුවක් කියලයි කියන්න වෙන්නේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මිට දින කිහිපයකට පෙර ප්‍රවෘත්ති සාකච්ජාවකදී කිව්වා අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයට ගියේ ඒ රට හදන්න නෙමෙයි බින් ලාඩන් සොයා ගෙන කියලා. බින් ලාඩන් මියගිහිල්ලා වසර 5-6ක් යනකම් අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ සිටියා. නමුත් අමෙරිකාව තේරුම් ගත්තා කවදාවත් තලෙයිබාන් සංවිධානයේ අවසානයක් නැහැ කියලා. ඒ නිසයි ඔවුන් තීරණය කරන්නේ දැන් ඇති.. ඇෆ්ගනිස්ථානයෙන් දැන් පිටවෙන්න කාලය ඇවිල්ලා කියලා.

ඒ අනුව අමෙරිකාව තලෙයිබාන් සංවිධානය සමග සාකච්ජා ඇරඹුවේ 2018 වර්ෂයේදී දෝහා වලදී. තලෙයිබාන් සංවිධානයට දෝහාවල කාර්යාලයක් පවා තිබෙනවා. මේ සාකච්ජා ඇරඹෙන කොට අමෙරිකාවේ ජනාධිපති වෙලා හිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්. නමුත් මෙය අමෙරිකාවේ ජාතික ප්‍රතිපත්තියක්. ආණ්ඩුව මාරු වුනා කියලා අපේ රටේ වගේ ප්‍රතිපත්ති මාරුවෙන සිරිතක් අමෙරිකාවේ නැහැ.

ඇෆ්ගනිස්ථානයේ යුද්ධය නිසා ඇමෙරිකාව ඩොලර් ට්‍රිලියනයක් මුදල් වියදම් කරලා තියෙනවා. ඒ වගේම 2014 කට ආසන්න අමෙරිකානු භටයින් මියගිහින් තියෙනවා. තවත් මුදල් සහ මිනිසුන් කැපකිරීමේ තේරුමක් නැහැයි කියලා අමෙරිකාව තේරුම් ගත්තා.

1975 වර්ෂයේදී වියට්නාමයේ සයිගොන් වලදී අමෙරිකාව ඉවත් වුනේ මහා පරාජයක් අත්කරගෙනයි. ඒ අත්දැකීම අමෙරිකාවට තියෙනවා. කවුරු කොහොම කිව්වත් අද අමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් පිටවෙන්නේ තමන්ගේ කීමට වැඩකරන රූකඩයක් එතන තියලා. ඒ මිට අවුරුදු 20කට පෙර විනාශ කරන්න ගිය තලෙයිබාන් සංවිධානයට දැන් ඒ රටම ආපහු භාර දීලා.

ඇමෙරිකාවට ප්‍රශ්නය තියෙන්නේ තලෙයිබාන් සංවිධානය එක්ක නෙමෙයි. අමෙරිකාවට ප්‍රශ්නය තියෙන්නේ චීනය එක්ක. මොකද ලෝකයේ ඊලඟ බලවත වෙන්න හදන්නේ චීනයයි. චීනයේ සහ ඇෆ්ගනිස්ථානය අතර විශාල දේශ සිමාවක් තියෙනවා. මේ දේශ සිමාවේ චීනයේ පැත්තට වෙන්න තියෙන්නේ ෂින්ජියෑන් ප්‍රාන්තය. මේ ප්‍රාන්තයේ බහුතරයක් සිටින්නේ මුස්ලිම්වරුන්. මේ මුස්ලිම්වරුන්ට කියන්නේ උයිගර් මුස්ලිම්වරුන් කියලා. උයිගර් මුස්ලිම්වරුන් දැන් වසර ගණනාවක් ඉදලා සටන් කරනවා වෙනම ප්‍රාන්තයක් තමන්ට අවශ්‍යයි කියලා. දැන් එතකොට මේ උයිගර් මුස්ලිම්වරුන්ට කවුද උදව් කරන්නේ? ඔවුන්ට උදව් කරන්නේ තලෙයිබාන් සංවිධානයයි.

ආයුධ දෙන්නේ, පුහුණුව දෙන්නේ තලෙයිබාන් සංවිධානය. චීනය අස්ථාවර කරන්න අවශ්‍යනම් තලෙයිබාන් සංවිධානය කරන්න තියෙන්නේ පැත්තක ඉදන් කොනිත්තන එක.

මේ බව චීනය කල් තියා දැන ගත්තා. ඒ නිසයි මිට සති 03කට පෙර චීනයෙන් තලෙයිබාන් සංවිධානයේ නායකයින්ට එන්න කියලා දින 02ක් සාකච්ජා කරලා සහතිකයක් ගත්තා උයිගර් මුස්ලිම්වරුන්ට කිසිම උපකාරයක් දෙන්නේ නැහැ කියලා. චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා තලෙයිබාන් සංවිධානයේ නායකයින් සමග එකට ඉදලා ජායාරූප ගත්තා. ඒ ජායාරූපය ලෝකය පුරා යැව්වා. නමුත් තලෙයිබාන් සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. මොකද ඔවුන් කියන දේ සිදුකරන්නේ නැහැ. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා.

ඉතින් චීනය මොන තරම් පොරොන්දු ගත්තත් තලෙයිබාන් සංවිධානය ඒවා ඉටුකරයි කියලා හිතන්න බැහැ” ආචාර්ය රංග කලන්සුරිය ප්‍රකාශ කර සිටියේ.