සමන්තා පවර් ගෙන් එන්නත ඉල්ලු මංගල සමරවීරත් වෛරසයට ගොදුරු වුනා : තවත් සති 02ක් රට වසන්න – රනිල් ඉල්ලයි (VIDEO)

August 26, 2021 at 1:18 PM

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය අවම කරලීම සඳහා තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

වෛද්‍ය උපදෙස් අනුව තවත් සතියක් දෙකක් කාලයක් සඳහා රට වසා තැබීම නම් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ඒ අනුව කටයුතු කරනු ඇති බවයි හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර සිටින්නේ.

රට තුල කොවිඩ් වසංගතය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් වෛරසයේ සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා මෙන්ම සිදුවන ජිවිත හානිය අවම කර ගැනීමට නම් තවත් සති 02ක කාලයක් රට වසා දැමීම අවශ්‍ය බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දෙන්නේ.

දින 20ක් වැනි කෙටි කාලයක් තුලදී රටේ කොවිඩ් ආසාදිත මරණ 3,000 සීමාව ඉක්මවීමට ලංවී ඇති බවද හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

සමන්තා පවර් මැතිනියගෙන් මෙරට කොවිඩ් වෛරසය වැළැක්වීම සඳහා ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ඉල්ලු හිටපු විදේශ කටයුතු ඇමති මංගල සමරවීර ද ඊට ගොදුරුවූ බව පැවසූ හිටපු අගමැතිවරයා ගතවු දින 02ක කාලය තුලදී තමන් දන්නා හඳුනන පුද්ගලයින් 06 දෙනෙකු වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ බව කියා සිටියා.

එමෙන්ම රට වැසීමෙන් සිදුවන ආර්ථික හානිය රට විවෘතව තැබීමෙන් කොවිඩ් වෛරසය නිසා සිදුවන හානියද වැඩි බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.