ශ්‍රී ලංකාවේ කොවිඩ් පොසිටිව් අනුපාතය 15% කට වැඩියි – WHO 

August 26, 2021 at 12:26 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ සතිපතා වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂණ ‘පොසිටිව්’ වීමේ අනුපාතය (TPR) 15.8% ක් බව අනාවරණය කොට තිබෙනවා.

අඛණ්ඩව පස්වන සතියටත් ශ්‍රී ලංකාව නව රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බවක් පෙන්නුම් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්තාවේ දැක්වෙන්නේ.

පසුගිය සතිය හා සසඳන විට මධ්‍යම පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල නව රෝගීන්ගේ වර්ධනයක් එමගින් අනාවරණය කොට ඇත.

පසුගිය සතිය හා සසඳන විට දකුණු සහ වයඹ පළාත්වල නව රෝගීන්ගේ වර්ධනය 50% ඉක්මවා ගොස් ඇති බව අනාවරණය කොට තිබේ.

32 වන සතියේ වාර්තා වූ නව රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය 57%ක් බවත් දකුණු පළාතේ රෝගීන්ගේ වර්ධනය 13%ක් බවයි එහි දැක්වෙන්නේ.

බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක පසුගිය සතියේදී මෙරටින් වාර්තා වූ නව රෝගීන්ගෙන් 45% ක දායකත්වයක් ලබා දී ඇත.