පාස්කු ප්‍රහාරය දීර්ඝ කාලයක සිට සැලසුම් කළ එකක් – පොලිස්පති කරුණු කියයි (VIDEO)

August 25, 2021 at 5:53 PM

2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කර සිටිනවා.

එය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවයි පොලිස්පතිවරයා සඳහන් කර සිටින්නේ.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවයි.

අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 723 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් 311 දෙනෙකු රඳවා ගෙන සිටින බවත් පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.

මේ අතර විශ්ලේෂණයට ලක්කර ඇති දුරකථන ඇමතුම් සංඛ්‍යාව 100,000 ක් බවද පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම විමර්ශන පිළිබඳව තොරතුරු මහජනතාවට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවයි පෙන්වා දෙන්නේ.