වයස අවුරුදු 60ට වැඩි සහ බෝනොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.
ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් බවත් මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන ඇත. එම නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ දී 60ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේ.
වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා (Isolate) කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබුවා.
බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡාවට ලක් කෙරුණා.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියා.
එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තිකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළයුතු බව කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනු ලැබුවා.
ජනතා ඒකරාශීවීම් වලක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවයක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් රෝගය පැතිරයෑම වැළැක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බවයි වෛද්‍යවරුන් අවධාරණය කර සිටියේ.