කොවිඩ් පාලන ඇමතිනිය සිය එකම පුතුගේ විවාහ මංගල උත්සවය අවලංගු කරයි

August 12, 2021 at 3:33 PM

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය එකම පුතුණුවන් වන භානුක ප්‍රනාන්දුපුල්ල්ගේ විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වනවා.

අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරනු ලබන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ එකම පුතුණුවන්ගේ විවාහ මංගල උත්සවය හෙට දිනයේ දී කොළඹ ෂන්ග්‍රි-ලා හෝටලයේ දී හෙට දිනයේ පැවැත්වීමට සුදානම් කර තිබු බවයි වාර්තා වුයේ.

කෙසේ වුවත් සිය පුතුණුවන්ගේ විවාහ වෙනුවෙන් සුදානම් කර තිබු උත්සවය නොගෙන, ආගමික සිරිත් අනුව දේවස්ථානය තුලදී විවාහ චාරිත්‍ර පමණක් සීමිත ඥාතීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව සිදුකර අවසන් කිරීමට රාජ්‍ය අමාත්‍යවරිය තීරණය කර ඇති බවයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

විවාහ මංගල උත්සවය සඳහා ආරාධනා කරනු ලැබූ සියලු අමුත්තන්ට හෙට දිනයේදී විවාහ මංගල උත්සවය නොපැවැත්වෙන බවට ඉකුත් සඳුදා දිනයේ සිටම රාජ්‍ය අමාත්‍යවරිය විසින් දැනුම් දීමට කටයුතු කර තිබුණා.

මිට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදී විවාහ මංගල උත්සව සඳහා සහභාගිවන අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමට අවශ්‍ය බවට පළමුව යෝජනා ඉදිරිපත් කර ඇත්තේද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බවයි වාර්තා වන්නේ.