පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 25කට නීතිපතිවරයා නඩු පවරයි

August 11, 2021 at 7:55 AM

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 25දෙනකුට එරෙහිව අධි චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (10) නඩු පවරා තිබේ. 2019 අප්‍රේල් 21 වැනිදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොළඹ කිංස්බරි, සිනමන්ග්‍රෑන්ඩ්, ෂැංග්‍රිලා යන හෝටල්, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල යන ස්ථානවලට සිදුවූ ප්‍රහාර 08කට අදාළව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් සේ සලකා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බව කියන නවුෆර් මවුලවි, සාජිත් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගෆර් මාමා, මොහොමඩ් සහන්ඩීන්, මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුපුරන ද්‍රව්‍ය සහ ආයුධ එක්රැස් කිරීම, කුමන්ත්‍රණය කිරීම ආදී අධි චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා, කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.