රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු පිරිසට ඇප ලබාදීම අධිකරණ ප්‍රතික්ෂේප

August 9, 2021 at 4:19 PM

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත්කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඒ අනුව ඔවුන් සිව්දෙනාව අගෝස්තු 23 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර සිටියේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති තරුණියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව පසුගිය දා අත්අඩංගුවට ගැණුනා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරුය.

ඒ අනුව එම සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළා.