ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකර්මාන්ත නැඹුරුව ශක්තිමත් කිරීමේ අරමුණින් දින 10ක අධ්‍යයන සංචාරයක් සඳහා පසුගියදා මෙරටට පැමිණි ස්විට්සර්ලන්තයේ විශේෂඥ පිරිස සතු කෘෂි පාරිසරික පද්ධතිය පිළිබඳ අත්දැකීම් හා දැනුම බෙදාදීමේ වැඩසටහනක්, අගෝස්තු 2 වැනිදා කැලණිය බවර් පොහොර ගබඩා පරිශ්‍රයේදී පැවැත්වුණි. ඒ් කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට නිසියාකාරව අනුගත වෙමිනි.
බවර් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, සහාය කාර්යමණ්ඩලය, පොහොර සහ බෝග ආරක්ෂණ ක්ෂේත්‍ර නිලධාරීහු, CMW පර්යේෂණාගාර සහ කර්මාන්තශාලා කාර්යමණ්ඩලය, යන්ත්‍ර ක්‍රියාකරුවන්, සත්ත්ව සෞඛ්‍ය, සත්ත්ව පාලන හා INSEE Ecocycle ඇතුළු ජීව අඟුරු නිෂ්පාදන අංශයේ නියෝජිතයෝ සහ වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා ඇතුළු සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමේ විශේෂ ආරාධිතයෝ ද මෙම වැඩසටහනට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය අධ්‍යයනය කිරීම සඳහා බවර් සමාගමේ මැදිහත්වීමෙන් මෙරටට පැමිණි මෙම විශේෂඥ පිරිස සිය අධ්‍යයන චාරිකාවේ වැදගත් අංගයක් ලෙස මෙම අත්දැකීම් හා දැනුම බෙදාදීමේ වැඩසටහනට සම්බන්ධ විය. කාබනික කෘෂිකර්මාන්ත අංශයේ ලොව සුපතල ආයතන දෙකක් වන ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) නියෝජනය කරන විශේඥයෝ පිරිසක් මෙම අධ්‍යයන චාරිකාවට එක්ව සිටිති. ඔවුහු ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ මෙරට කෘෂි ක්ෂේත්රයට අදාළ ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් මෙන්ම ගොවීන් සහ සෙසු පාර්ශ්වකරුවන් මුණගැසීමටත්, කාබනික කෘෂිකර්මාන්තය හා බැඳුණු ක්ෂේත්‍ර සහ පහසුකම් වෙත සංචාරය කිරීමටත් නියමිත ය.
”කාබනික පොහොර අභියෝගය සඳහා සක්‍රීයව පියවර ගැනීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. කාබනික ගොවිතැන පිළිබඳ අපේ කතිකාව ආරම්භ වූයේ මීට මාස හතරකට ඉහතදීයි” බවර් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලේසර් මහතා සිය පිළිගැනීමේ කථාව අතරතුර පැවසීය.
”ඒ අනුව ගෝලීය මට්ටමේ විශේෂඥ කමිටුවක් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන මෙරට කාබනික කෘෂි පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කිරීමත්, ඒ සඳහා දැනුම හා සම්පත් හුවමාරු කරගැනීමත් තුළ සමස්තයක් වශයෙන් රටටත්, කෘෂිකර්ම ක්ෂේත්රයටත් විශාල ප්රතිලාභ අත්වන බව අපේ විශ්වාසයයි. ඉදිරි දින කිහිපය තුළදී අපි විවිධ ක්ෂේත්‍ර බිම් සහ පහසුකම් වෙත සංචාරය කිරීමටත්, ප්රමුඛ පෙළේ නිලධාරීන්, විද්වතුන් හා වෘත්තීකයින් මුණ ගැසීමටත්, ඒ හරහා කෘෂි පද්ධතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමටත් සූදානමින් පසුවනවා”, ඔහු වැඩිදුරටත් පැවසීය.
කාබනික කෘෂිකාර්මික ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ (IFOAM) දත්තවලට අනුව මෙරට තුළ කාබනික කෘෂි අංශයේ දායකත්වය 2.5%කි.
HAFL හි ස්වාභාවික සම්පත් කළමනාකරණ මහාචාර්යවරයෙකු වන ක්‍රිස්ටෝෆ් ස්ටඩර් මෙහිදී කෘෂි පාරිසරික එළඹුමක් පැවතීමේ වැදගත්කම මැයෙන් සිය ඉදිරිපත් කිරීම සිදුකළේය. පසේ සාරවත් බව කළමනාකරණය කිරීමේ වැදගත්කම ඔහු එහිදී විශේෂයෙන්ම අවධාරණය කළේය. එනම් පොහොර යෙදීමේ අරමුණ අදාළ බෝගය වෙත පෝෂ්‍ය කොටස් ලබාදීම පමණක් නොව සමස්තයක් ලෙස පස සාරවත් කිරීම හා ඒ් තුළින් ආහාර නිෂ්පාදනය හා අනෙකුත් පාරිසරික කෘත්‍යයන් සඳහා පස හැඩගැස්වීම බව ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව කාබනික යෙදවුම්, පාංශු ජීවන චක්‍රය, සම්පත් තිරසර ලෙස භාවිත කිරීම, විවිධ බෝග රටාවන්, පෝෂ්‍ය ද්‍රව්‍ය, ජීව පොහොර ආදී කරුණු රැසක් පිළිබඳව ද ඔහු සිය දැනුම බෙදා දුන්නේය.
FiBL හි ශාක ව්‍යාධිවේදය සහ පාංශු ගුණාත්මක භාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ආචාර්ය ජැක්ස් ජී. ෆූච්, කාබනික අවශේෂ ප්‍රතිචක්‍රීකරණයට අදාළ මූලික දැනුම හුවමාරු කරගත්තේය. එහිදී ස්විට්සර්ලන්තය උදාහරණයට ගත් හෙතෙම, එරට සෑම පුද්ගලයෙකුම නිවාස මට්ටමික් කාබනික අපද්‍රව්‍ය වෙන් කිරීමට හා එක්රැස් කිරීමට උනන්දු බවත්, මේ නිසාම අපද්‍රව්‍ය පිළිබඳ පුළුල් වර්ගීකරණයක් එරට පවතින බවත් පෙන්වාදුන්නේය. එමෙන්ම පාංශු සාරවත් බව පිළිබඳව මෙන්ම ස්විට්සර්ලන්තයේ ගොවීන්ගේ සිට කර්මාන්තශාලා මට්ටමින් කොම්පෝස්ට් නිෂ්පාදන භාවිතයන් ගැන ද ඔහු අදහස් දැක්වීය. තවද ජීව පොහොර නිර්මාණය කරගැනීම, විවිධ තාක්ෂණික ක්‍රියාවලි හරහා අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත්කිරීම පිළිබඳව ද ඔහු දැනුම බෙදාගත්තේය.
එහිදී දිරායන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සිට කොම්පෝස්ට් නිෂ්පාදනය දක්වා පවතින කාබනික අපද්‍රව්‍ය එක්රැස් කිරීම, කොම්පෝස්ට් බවට හැරවීම, නිර්වායු පැසවුම් පද්ධති, අමුද්‍රව්‍ය මිශ්‍රණය, ක්‍රියාවලි කළමනාකරණය සහ අවසන් නිමැවුම් ගබඩා කිරීම යනාදී විවිධ පියවර පිළිබඳව ද ඔහු කරුණු දැක්වීය.
වැඩසටහන අවසානයේදී HAFLහි ඝර්ම කලාපීය කෘෂි පාරිසරික පද්ධති පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වන ආචාර්ය ගර්බිර් එස් බුලර්, FiBL හි ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන පෝල් වැන් ඩෙන් බර්ජ් යන මහත්වරු ද ඇතුළු සිව් පුද්ගල විශේෂඥ කමිටුව ප්‍රශ්නෝත්තර සැසියක් ද පැවැත්වූහ. බවර් සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ/ අධ්යක්ෂ- කෘෂිකර්ම ජානක ගුණසේකර මහතා වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින් ස්තූති කථාව සිදුකළේය.