රට විරුවන්ට මෝටර් රථ ගෙන එන්න අවසර ඉල්ලා මන්ත්‍රී දොලවත්ත ගෙන් ජනපතිට ලිපියක්

August 4, 2021 at 7:37 PM

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශයන් හි සිට මෙරටට විදේශ විනිමය එවනු ලබන “රට විරුවන්” සඳහා ඔවුන් එරට තුලදී සහනදායි මිලට මිලදී ගන්නා නවීන මෝටර් රථ මෙරටට එවිමට අවස්ථාව ලබා දීම තුලින් දීර්ඝ කාලයක් තිස්සේ “රට විරුවන්” විසින් සිදු කල ඉල්ලීම ඉටු කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රකාශ කර සිටිනවා.

මේ තුළින් මේ වන විට ඉහල මිලකට අලෙවි වන භාවිතා කල වාහන වල මිල පහල යාමට හේතු වනු ඇති බවත් මිට අමතරව රට තුල පවතින ඩොලර් සංචිත නව වාහන ආනයනය වෙනුවෙන් වැය කිරීමක් මෙහිදී සිදු නොවන නිසා එම ඩොලර් සංචිත මෙරට තුලම රදවා ගැනීමට හැකි වීම නිසා අදාල බදු මුදල් ඩොලර් වලින් විදේශයන් හී සිට මෙරටට ගෙවනු ලබන නිසා එතුලින් මෙරට ඩොලර් සංචිත වර්ධනය වීමක්ද සිදුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ.

මෙම කරුණු පිළිබඳව පැහැදිලි කරමින් අද දින මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් සිදු කරන ලැබූ අතර, මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ද යොමු කර ඇත.

ජනාධිපතිවරයා වෙත යොමු කළ අදාල ලිපිය පහත දක්වා ඇත.

2021 – 08 – 04,

අතිගරු ජනාධිපති
ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

මාධ්‍ය නිවේදනයයි: විදේශගත ශ්‍රමිකයන් වෙත රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දීම තුළින් රට තුල පවතින ඩොලර් හිගය පියවා ගැනීම සම්බන්ධව.

කොවිඩ්-19 ව්‍යාප්තිය සමග අප රටට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වීමට සිදුවී ඇත. එයට හේතුව ලෙස මේ වන විට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පසුබෑම, අනෙකුත් අපනයන ක්ෂේත්‍ර වල සිදුව ඇති පසුබෑම් සහ විදේශයන් හි සේවය කරමින් සිටින ශ්‍රමිකයන් මෙරටට එවනු ලැබු විදේශ විනිමය ප්‍රමාණය අඩු වීම වැනි කරුණු පෙන්වා දිය හැකි අතර ඒ හේතුවෙන් අප රට තුල මේ වන විට ඩොලර් සංචිත වල හිගයක් මතුව ඇත.

මේ හේතුවෙන් මේ වන විට රට තුල පවතින ඩොලර් සංචිත රැක ගැනීම සඳහා අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කර ඇත. එහි එක් පියවරක් ලෙස මෝටර් රථ සහ එම අමතර කොටස් ආනයනය සීමා කර ඇත. එතුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමට අපට හැකිව ඇත. නමුත් මේ ක්‍රියාවලිය හේතුවෙන් රට තුල අස්වාභාවික ලෙස රථවාහන වල මිල ඉහල ගොස් ඇත. මෙතුලින් වාහනයක් මිළදී ගැනීමට බලාපොරොත්තු වන මෙරට ජනතාවද විශාල වශයෙන් අපහසුතාවයට පත්ව ඇත.

විදේශයන් හි සේවය කරමින් මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වෙමින් මෙරටට විදේශ විනිමය එවනු ලැබු විදේශ ගත ශ්‍රමිකයන් හෙවත් “රට විරුවන්” කලක පටන් ඔවුන් හට තමා සේවය කරන රටේ සිට මිලදී ගත් මෝටර් රථයක් මෙරටට රැගෙන ඒමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලීම් කර ඇත. ඒ අනුව වසරක කාලයක් සඳහා එම “රට විරුවන්” හට එසේ මිලදී ගන්නා මෝටර් රථය මෙරටට එවීමටත් එසේ එවන මෝටර් රථ සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල එම විදේශයේ සිට උපයනු ලබන ඩොලර් යොදා ගනිමින් මෙරට රජයට ගෙවීමට අවස්ථාව ලබා දීම තුලින් සහ එම මුදල් රට තුළ වෙනම ගිණුමක එක්රැස් කිරීම තුලින් අතිරේක ඩොලර් සංචිතයක් ගොඩ නගා ගැනීමට හැකි වන අතර එමගින් පහත සඳහන් ප්‍රතිලාභ අප හට ලබා ගත හැක.

මෙම අවස්ථාව ලබා දීමේදී “රට විරුවන්” මෙරටට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය, ඔවුන් විදේශයන්හි සේවය කර ඇති කාල සීමාව වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර ඔවුනට යම්කිසි තීරුබදු සහනයක් ලබා දිය හැකි නම් එය ඔවුන් රට වෙනුවෙන් සිදු කර ඇති සේවය පිළිබඳව සිදු කරන කෘතගුණ සැලකීමක් බවද සිහිපත් කරනු කැමැත්තෙමි.

1. රට තුල පවතින වාහන වල මිල අස්වාභාවික ලෙස ඉහල යාම පාලනය කිරීමට හැකි වීම.

2. විදේශගත ශ්‍රමිකයන් විසින් කලක පටන් රථවාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන මෙන් සිදු කර තිබු ඉල්ලීම ඉටු කිරීමට හැකිවීම.

3. එම වාහන ආනයනය කිරීම සඳහා මෙරට සිට විදේශ රටවලට මුදල් ගෙවීමක් සිදු නොකරන බැවින් මෙරට පවතින විදේශ විනිමය සංචිත නැවත විදේශ රට වලට ගලා යෑමක් සිදු නොවීම.

4. විදේශයන්හීදි මෙරට මිලට වඩා අඩු මිලකට මිලදී ගන්නා නවීන රථවාහන සඳහා මෙරටට බදු මුදල් ගෙවීම විදේශයන් හී සිට ඩොලර් මගින් සිදු කිරීමට හැකි වීම තුළින් මෙරට ඩොලර් සංචිතයට අමතර ඩොලර් ප්‍රමාණයක් එක් කර ගැනීමට හැකි වීම.

5. මෙය සීමිත කාලයකට පමනක් හිමිවන අවස්ථාවක් බැවින් විදේශගත ශ්‍රමිකයින් කඩිනමින් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම හේතුවෙන් මෙරට පවතින ඩොලර් හිගය සඳහා යම් සාධනීය විසදුමක් කඩිනමින් ලබා ගැනීමට හැකි වීම.

මේ සම්බන්ධව අද දින එනම් 2021 – 08 -03 වන දින ගරු පාර්ලිමේන්තුව හමුවට කරුණු ඉදිරිපත් කල අතර එහිදි අදහස් පල කළ ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා විසින් මෙම යෝජනාව ඉතා සාධනීය යෝජනාවක් බවට කරුණු දක්වන ලදී.

අද දින ගරු පාර්ලිමේන්තුවේදි ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා වෙතින් දෙවන අතුරු පැනයක් විමසීම සඳහා ගරු පාර්ළිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මැතිතුමා විසින් මා වෙත ලබා දුන් අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මා විසින් ඉහත ප්‍රශ්නය ගරු රාජ්‍ය අමාත්‍යතුමා වෙත යොමු කරන ලද අතර මා හට එම අවස්ථාව ලබා දීම සම්බන්ධව මා විසින් ගරු පාර්ළිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මැතිතුමා වෙත මාගෙ ප්‍රණාමය පුද කරමි.

අදාල යෝජනාවට සම්බන්ධ වීඩීයෝ පටය මේ සමග ඉදිරිපත් කර ඇත.ස්තූතියි,

මෙයට විශ්වාසී,

නීතීඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත
අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක
පාර්ලිමේන්තු මන්ත‍්‍රී

සභාපති – මොරටුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව