ගුරු විරෝධතාවයේ යෙදුණු පුද්ගලයින් 42ක් අත්අඩංගුවට

August 4, 2021 at 4:59 PM

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු (42) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සැකකරුවන් අතර පිරිමි 26 ක් සහ කාන්තාවන් 16 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර වන බවයි.

විරෝධතාවය අතරතුර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීමේ චෝදනාව යටතේ විරෝධතාකරුවන් පැමිණි වාහන 10 ක් ද පොලිසිය භාරයට ගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අයුතු ජනරාශිය වැනි දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සඳහා ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.