ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන ආණ්ඩු පක්ෂය තීරණයක් ගනියි

July 19, 2021 at 8:29 AM

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ඒකමතිකව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. විශ්වාසභංග යෝජනා විවාදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුවා.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, පුජ්‍ය අතුරලියේ රතන හිමි යන මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනාව පරාජයකට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ වීමට නියමිතයි.

ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.